මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය

නැවත දැනුම් දෙනතුරු මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 01-08-2026 | 10:30 PM

COLOMBO(News1st) - මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවෙන් රැඳවියෙකු මියගොස් තිබේ.

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගිය බවයි.

තුවාල ලැබූ තවත් හය දෙනෙකු, රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර පොලීසිය පැවසුවේ නැවත දැනුම් දෙනතුරු මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවයි.

මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ නොසන්සුන්තාවක් ඇති වීමත් සමග පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට කැඳවූ බව, පොලීසිය සඳහන් කළේය.

පවතින තත්ත්වය නිරීක්ෂණයට, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද යොදවා තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පිරිසක් අතර එම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කළේය.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සදහන් කළේ, තත්ත්වය පාලනය සඳහා අවශ්‍ය කටයුතු යෙදීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යොමුකර ඇති බවයි.

බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.