තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්.

කාලගුණයෙන් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්.

by Staff writer 01-08-2026 | 11:51 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව , වයඹ යන පළාත්වලට හා මහනුවර, නුවරඑළිය , ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින සක්‍රිය නිරිතදිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනයෙත් පවතින බවයි.

බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද(01) උදෑසන 6 න් අවසන්වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල, බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම අගය මිලිමීටර් 136.5 ක්.

කෑගල්ල මාලිබොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 115.5 ක වර්ෂාපතනයක්ද, මස්කෙලිය ප්‍රදේශයෙන් මිලිමීටර් 117.5 ක වර්ෂාපතනයක්ද වාර්තාවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.

මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි.

ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60  දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි.