කතරගම මහාදේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක්වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක්වෙයි.

by Staff writer 30-07-2026 | 7:15 AM

COLOMBO(News1st) - ලෝකය කෙතරම් පරිවර්තන ඇති කරගත්ත ද, අපේ රට ඉදිරියට යා යුත්තේ, ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කරගනිමින් බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඕනෑම රටක් සංවර්ධනයේදී එම රට සහ සමාජය ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් බවයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සමාප්ති උත්සවය අමතමින්.

සියලු ජන කොටස් එකම පුදබිමකට කැඳවන එම අවස්ථාව, අප රටේ ජාතික අනන්‍යතාව මෙන්ම ජාතික සමගිය පිළිබිඹු කරන අවස්ථාවක් බව ද, ජනාධිපතිවරයා සදහන් කළේය.

ජනාධිපතිවරයා වාසනා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු, කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහැර නැරඹීමට ද එක්වුණි.

පෙරහැර සමාප්ති ප්‍රකාශන සන්නස් පත්‍රය, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් වෙත පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි.