.webp)

දැනටමත් ශ්‍රී ලංකාවේ පරිශීලකයින්හට අක්වෙරළ හුවමාරු සහ පුද්ගලයන් අතර ඍජුව සිදු කෙරෙන ගනුදෙනු මඟින් අවිධිමත් මාර්ගගත වේදිකා හරහා අතථ්‍ය වත්කම් (Virtual Assets) එනම්, 'ක්‍රිප්ටෝ' ව්‍යවහාර මුදල් වැනි ඩිජිටල් ආකාරයෙන් වෙළෙඳාම් කළ හැකි හෝ මාරු කළ හැකි ගෙවීම් හෝ ආයෝජන අරමුණු සඳහා භාවිත කළ හැකි වටිනාකමකින් යුත් ඩිජිටල් නිරූපණ වෙත ප්‍රවේශවීමේ හැකියාව පවතී. එම වේදිකාවන් සම්පූර්ණයෙන්ම දේශීය නියාමන බල රාමුවෙන් පිටත ක්‍රියාත්මක වන බැවින්, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (Virtual Assets Service Providers) මූලික අනුකූලතා බැදීම්, වාර්තාකරණ ප්‍රමිතීන් හෝ අධීක්ෂණය සඳහා ලියාපදිංචි අවශ්‍යතා නොමැතිව ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වේ. ඒ හේතුවෙන්, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ මූල්‍ය අපරාධ සිදු වීමට පවතින අවදානම සැලකිල්ලට ගෙන, අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා නියාමන රාමුවක් සහ නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. එබැවින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා වන ජාතික සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රතිපත්ති මඟ පෙන්වීම යටතේ, අතථ්‍ය වත්කම් සහ සේවා සපයන්නන් සඳහා නියාමන රාමුවක් සහ ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් හඳුනා ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාළ නිලධාරින්ගෙන් සමන්විතව අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් පිළිබඳ උප කමිටුවක් පිහිටුවා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව සම්බන්ධීකරණය කරන ලද අධීක්ෂණ ව්‍යුහයක් තුළ, අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා නියාමන බලධරයා ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නම් කිරීමට එම උප කමිටුව විසින් යෝජනා කරනු ලැබ ඇත. ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් නියාමනය කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ නාගරික හා නගරාන්තර මගී ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, ඒකාබද්ධ හා පරිශීලක හිතකාමී පද්ධතියක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් වේ. ඒ සඳහා බස් රථ, දුම්රිය, කුලී රථ සහ අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් අතර කාර්යක්ෂම හුවමාරුව සහ අන්තර් සම්බන්ධීකරණය ඇති කිරීමේ විසඳුමක් ලෙස බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හඳුනා ගනු ලැබ ඇත. මාකුඹුර සහ කඩවත යන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන මේ වන විට ක්‍රියාත්මක වන අතර, අනුරාධපුර (දක්ෂිණ) සහ මහනුවර යන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී. එම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල මෙහෙයුම්, පරිපාලනය, ප්‍රමිතිකරණය, ව්‍යාපාර සංවර්ධනය හා ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය සඳහා ප්‍රවාහන විෂයභාර අමාත්‍යාංශය යටතේ ස්ථිර ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව 2025-12-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරනු ලැබ ඇත. ඒ අනුව එළඹි තීරණය පරිදි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරින් විසින් පවත්වන ලද සාකච්ඡා මත පදනම්ව, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණය සඳහා 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රවාහන විෂය භාර අමාත්‍යාංශය යටතේ පාලනය වන 100%ක් මහා භාණ්ඩාගාරයට අයත් සීමාසහිත (පොදු) සමාගමක් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට නිර්දේශ කරනු ලැබ තිබේ. එකී නිර්දේශය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන වැඩබලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත මඟින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පිහිටුවා ඇත. එම පනතේ විධිවිධාන ප්‍රකාරව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ පර්යේෂණ හා පුහුණු කටයුතු සඳහා 1995 වර්ෂයේදී මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ස්ථාපනය කර තිබේ. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ සංවර්ධනය සඳහා සමාන්තර සේවාවන් එකී ආයතන ද්විත්වය විසින් සපයමින් සිටින නමුත්, ඒකාබද්ධ ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් එකී ආයතන ක්‍රියාත්මක වීමේදී සම්පත් නාස්තියක් සිදු වන බව සහ ප්‍රතිපත්තිමය පරස්පරතා මතුවන බව නිරීක්ෂණය කරනු ලැබ ඇත. ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කරන ලද අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීම පිණිස වූ නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව, එම ආයතන 02 ඒකාබද්ධ කිරීම සඳහා 2025-03-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ. එකී අනුමැතිය පරිදි අදාළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම නිලධාරි කමිටුවේ වාර්තාව මත පදනම්ව, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය, ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ පර්යේෂණ සහ පුහුණු අංශය ලෙස ස්ථාපනය කිරීමටත්, ඒ සඳහා 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ විධිවිධාන පරිදි අදාළ නීතිමය පියවර ගැනීමටත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. එකී වැඩසටහන යටතේ කර්මාන්තපුර ස්ථාපනය කිරීම සඳහා හඳුනාගනු ලබන ඉඩම්වල මුලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, ඉන් අනතුරුව සුදුසු ආයෝජකයින් වෙත අදාළ කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීමත් සිදු කරනු ලබයි. ප්‍රාදේශීය කර්මාන්තපුරවල ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් වී ඇති ආයෝජන යෝජනා ඇගයීමෙන් අනතුරුව, 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ විධිවිධාන ප්‍රකාරව පිහිටුවා ඇති ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් ව්‍යාපෘති 23ක් සඳහා ඉඩම් කොටස් වෙන් කිරීමට නිර්දේශ කරනු ලැබ ඇත. එම ව්‍යාපෘති හරහා සිදු කිරීමට නියමිත ආයෝජනයන්හි වටිනාකම රුපියල් මිලියන 2,805.26ක් පමණ වේ. තවද, එකී කර්මාන්ත ව්‍යාපෘති මඟින් සෘජු රැකියා අවස්ථා 870ක් පමණ උත්පාදනය වනු ඇති බව ද පුරෝකථනය කර ඇත. ඒ අනුව, නව කර්මාන්ත පිහිටුවීම සඳහා එකී ආයෝජකයින් 23දෙනා වෙත ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් අදාළ ඉඩම් කොටස් බදු පදනම යටතේ වසර 35ක කාලසීමාවකට ලබා දීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 අයවැය යෝජනාවක් අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහිත විදේශීය විශ්වවිද්‍යාලවල සිය ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථා සැලසීම සඳහා රජය මඟින් ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී ඇත. ඒ යටතේ එක් ශිෂ්‍යත්වලාභියෙකු සඳහා වසරකට උපරිම රුපියල් මිලියන 20 බැගින්, උපාධි වැඩසටහනේ සම්පූර්ණ සිව් වසරක කාලය සඳහා උපරිම රුපියල් මිලියන 80ක මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙනු ලබයි. ඒ අනුව, 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත සිසුන් තිස්දෙදෙනෙකු එම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරා ගනු ලැබ ඇති අතර, මේ වන විට ඒ අතරින් සිසුන් නවදෙනෙකු සිය අධ්‍යයන කටයුතු වෙනුවෙන් මෙරටින් පිටත්ව ගොස් ඇත. ඉතිරි සිසුන් විදේශගත වීමට අදාළ මුලික කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. ප්‍රධාන විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව මෑතකදී ශ්‍රී ලංකා රුපියල අනපේක්ෂිත ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් එකී සිසුන් විසින් විදේශීය මුදලින් ගෙවිය යුතු ඇතැම් ගෙවීම් සඳහා දැනට වෙන් කරනු ලැබ ඇති මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. එබැවින්, විනිමය අනුපාතිකය ස්ථාවර වන තෙක් එම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එක් ශිෂ්‍යයෙකුට වසරකට රුපියල් මිලියන 2.5ක් දක්වා වූ විනිමය අනුපාතික ගැලපුම් දීමනාවක් ලබා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කහතුඩුවේදී ඉදිකරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අදියර - 1 මාර්ග කොටස ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වර්ෂය තුළදී නිම කර අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, 2026 වර්ෂයේ අනුමත ප්‍රතිපාදන තුළ දේශීය අරමුදල්වලින් රුපියල් බිලියන 15ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් නාගරික අඩුපහසුකම් ජනාවාසයන්හි ජීවත් වන ප්‍රජාව සඳහා ක්‍රියාත්මක කරන ලද අඟුලාන සයුරුපුර, බොරැල්ල සහස්පුර හා සිංහපුර අදියර I සහ සිංහපුර අදියර II යන නිවාස සංකීර්ණවල නිවාසලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ආරක්ෂාව සහතික කිරීම හා ගොඩනැගිලිවල කල්පැවැත්ම වැඩි කර ගැනීම සඳහා අත්‍යවශ්‍යයෙන් සිදු කළ යුතු අලුත්වැඩියාවන් කඩිනමින් සිදු කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා රුපියල් මිලියන 764.09ක මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ. ඒ අනුව, භාණ්ඩාගාරයේ අරමුදල් භාවිත කරමින් 2026 සහ 2027 වර්ෂයන් තුළදී එකී අලුත්වැඩියාවන් නිම කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ එක් රැස් වී ඇති අබලි ලෝහ බැහැර කිරීම පිණිස 2024-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 09ක් ඉදිරිපත් වී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක වැඩිම මිල ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරුවන් වෙත පහත සඳහන් පරිදි එකී අබලි ලෝහ බැහැර කිරීමේ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
ලංසුකරු ප්‍රසම්පාදන වටිනාකම (රුපියල්)
M/s. Udaya Industries 16,536,695.00
M/s. Ashok Steel Industries (Pvt) Ltd 89,424,153.88
M/s. Kalana Tech Engineering 1,691,210.00
M/s. S.R. Steel (Pvt) Ltd 47,578,448.00
M/s. Ceylon Steel Casting (Pvt) Ltd 1,225,500.00
M/s. IWW Steel Industries (Pvt) Ltd 39,434,186.40
මුළු ප්‍රසම්පාදන වටිනාකම 195,890,193.28
ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM), 1976 අංක 23 දරන ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතන පනත මඟින් පිහිටුවනු ලැබ තිබේ. විවිධ විෂය ධාරා යටතේ සහතික පත්‍ර, ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පිරිනැමීම එමඟින් සිදු කරනු ලැබ ඇති අතර, විදේශ විශ්වවිද්‍යාල සමඟ ඇති කරගත් ගිවිසුම් අනුව උපාධි ප්‍රදානය සිදු කිරීමේ අවසරය 2009 වර්ෂයේදී එම ආයතනය වෙත ලබා දී ඇත. ඉන් පසුව, 2013 වර්ෂයේදී එකී උපාධි පිරිනැමීමේ බලය, එහි 100%ක කොටස් හිමිකාරිත්වය සහිතව පිහිටුවන ලද ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත පවරා දී තිබිණි. එහෙත්, මේ වන විට ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය ඇපයෙන් සීමිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කර වෙනම ආයතනයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන බැවින්, ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයට හෝ එහි අනුබද්ධිත ආයතනයකට පැවති උපාධි ප්‍රදානය කිරීමේ බලතල අහිමි වී තිබේ. එබැවින්, එම ආයතනය වෙත උපාධි පිරිනැමීමේ බලතල ලබා දීමට හැකි වන අයුරින්, 1976 අංක 23 දරන ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතන පනත සංශෝධනය කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි එම්.ජේ.එස්.රවිසිංහ මහතා පූර්ණකාලීන වැඩබැලීමේ පදනම මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම පිණිස 2025‑12‑10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඒ මහතා 2026-01-01 දින සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කරනු ලැබ තිබේ. ඒ අනුව, එම්.ජේ.එස්.රවිසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට ස්ථිර පදනමින් පත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සමාජ සේවා දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය යන ආයතන ත්‍රිත්වය විසින් ශ්‍රී ලංකාවේ ආන්තීකරණයට ලක් වූ පුද්ගලයින්/පුද්ගල කණ්ඩායම් වෙනුවෙන් සුබසාධන හා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පත්වීම් ලබන සමාජ සේවා නිලධාරින්ට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ හා ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ ආයතන කර්තව්‍යයන් ද ක්ෂේත්‍ර මට්ටමින් පවරා තිබේ. එබැවින්, එම ආයතනයන්හි සේවාවන් ඵලදායී ලෙස ජනතාව වෙත සැපයීම සඳහා ඒකීය පරිපාලන ව්‍යුහයක් තුළ එකී සේවාවන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146 වන ව්‍යවස්ථාව ප්‍රකාරව, අභියාචනාධිකරණයේ අධිකරණ බලය ප්‍රාදේශීයව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. අපරාධ සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ බලය ඇති පළාත්බද මහාධිකරණවල සහ සිවිල් අභියාචනා බලය පවතින සිවිල් අභියාචනා මහාධිකරණවල පවතින ඉහළ නඩු සංඛ්‍යාව ප්‍රමාදයකින් තොරව විසඳීම සඳහා මහාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ද ඉහළ නැංවිය යුතුව තිබේ. එමෙන්ම, අධිකරණ ප්‍රමාණය ඉහළ නැංවීම සහ ප්‍රාදේශීයව අභියාචනාධිකරණ ක්‍රියාත්මක කිරීම හේතු කොට ගෙන එම අධිකරණවලට පළපුරුදු සහ විද්වත් විනිශ්චයකාරවරුන්ගේ සේවය ලබා ගැනීමට හැකි වන පරිදි විනිශ්චයකාරවරුන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම ගත යුතු වයස ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හරිත දේශගුණ අරමුදල (Green Climate Fund) යනු සංවර්ධනය වෙමින් පවතින රටවල හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සහ දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුගත වීම සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය යටතේ පිහිටුවන ලද අරමුදලකි. දේශගුණික විපර්යාස පිළිබඳ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අභියෝග හා උගත් පාඩම් හුවමාරු කර ගැනීම, හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීම සහ අරමුදලෙහි නව උපායමාර්ග හා ප්‍රවේශයන් පිළිබඳ දැනුම්වත් කිරීම ආදී කාර්යයන් සඳහා එම අරමුදල විසින් කලාපීය සංවාද පවත්වනු ලබයි. නැගෙනහිර සහ දකුණු ආසියාව සඳහා වන හරිත දේශගුණ අරමුදලේ කලාපීය සංවාදය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දෙන ලෙස හරිත දේශගුණ අරමුදලෙහි ආසියා පැසිෆික් කණ්ඩායම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එම කලාපීය සංවාදය සඳහා රටවල් 11ක නියෝජිතයින් 120ක් පමණ සහභාගි වීමට නියමිතව තිබේ. ඒ අනුව, එකී කලාපීය සංවාදය 2026-09-14 දින සිට 17 දින දක්වා කොළඹදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීමටත්, ඒ සඳහා වන ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ හරිත දේශගුණ අරමුදල අතර අත්සන් තැබීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පවතින නීතිමය විධිවිධාන යටතේ, දැනටමත් අත්අඩංගුවේ පවතින මත්ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සහ අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය නඩු විභාගය අවසන් වන තෙක් රඳවා තබා නොගෙන, බැහැර කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති කමිටු වාර්තාවක් මත පදනම්ව (218 වන අධිකාරය වූ) විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම පිණිස 2026-03-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එමෙන්ම, මහ මුහුදේදී අන්තරායකර ඖෂධ නිෂ්පාදනය කිරීම හෝ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හඳුන්වා දෙන ලද 2026 අංක 7 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනතේ විධිවිධාන සැලකිල්ලට ගනිමින්, (218 වන අධිකාරය වූ) විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනතේ 54(1)(අ) හා 83(2) වගන්ති සහ 3 වන උපලේඛනය සංශෝධනය කිරීම පිණිස 2026-04-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එකී සංශෝධනයන් සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජනාධිපතිවරයාගේ නිල කටයුතු හා පෞද්ගලික විවේක අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනාධිපති මන්දිර කිහිපයක් පවත්වා ගෙන යනු ලැබුව ද එම මන්දිර වර්තමාන ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා භාවිත කරනු නොලබයි. ඉතා ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකම් සහිත එම මන්දිර අංග සම්පූර්ණ පහසුකම්වලින් සහ ආකර්ශනීය ආකාරයේ බිම් සැකසුම්වලින් සමන්විත වේ. දැනට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන එකී මන්දිර නඩත්තු කිරීම, ආරක්ෂාව සැපයීම හා අනෙකුත් වියදම් සඳහා රාජ්‍ය මුදල් සැලකිය යුතු ලෙස වැය කළ යුතුව ඇත. එබැවින්, රජය සතු බංගලා, නිවාස සහ ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, බෙන්තොට, කතරගම, මහිංයගනය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටා ඇති ජනාධිපති මන්දිරයන් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවා සුදුසු ආයෝජකයන් වෙත දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
