ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන්ට ඇප

ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන්ට ඇප

by Staff writer 27-07-2026 | 7:17 PM

COLOMBO(News1st) - අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද(27) නියෝග කළේ ය.

ඒ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 200 බැගින් වූ ශරිර ඇප දෙකක් නියම කරමිනි.

සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකරුවන්ගේ දුරකථන වාර්තා, බැංකු වාර්තා සහ ක්‍රිප්ටෝ කරන්සි ගිණුම් ඔස්සේ, මීට පෙර වෙනත් ගනුදෙනු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු සහ එම වංචාව සඳහා යොදා ගත් වාහනය අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක බව විමර්ශන නිලධාරීන් කියා සිටියහ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පසුගියදා සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ, චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඔවුන් පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව, අද(27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ, හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර, අජිත් ප්‍රියන්ත,  දුෂාන් ශ්‍යාමල්,  ප්‍රමිල්, කුසල් ගුණදාස සහ වැන් කුයින් නමැති චීන ජාතිකයෙකුටයි.

මේ අතර කොල්ලුපිටියේදී කොල්ලකෑමට ලක් වූ රුපියල් කෝටි 2 හිමිකාර චීන ජාතිකයා රටින් පිටව ගොස් ඇතැයි අනාවරණ වී තිබේ.

ඒ, අදාල සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන වලදීයි.

චීන ජාතිකයාට එම මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය.