ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක කුසලානය දිනාගනී..

16 වසරකට පසුව ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක කුසලානය දිනාගනී.....

by Staff writer 20-07-2026 | 7:51 AM

COLOMBO (News 1st) - ස්පාඤ්ඤය 16 වසරකට පසුව, පාපන්දු ලෝක කුසලානය, ජය ගත්තේ ය.

ඒ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව පරාජය කරමිනි.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඇමරිකාවේ නිව් යෝර්ක්හි නිව් ජර්සි ක්‍රීඩාංගනයේදී පැවැත්වූයේ 80,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේයි.

ස්පාඤ්ඤය සුපිරි ටෙනිස් ක්‍රීඩක කාලෝස් අල්කරේස්, දකුණු කොරියානු රංගන ශිල්පිණි හොයියෑන්, 1978 පාපන්දු ලෝක කුසලානය ජය ගත් ආර්ජන්ටිනා කණ්ඩායමට ක්‍රීඩා කළ මරියෝ කැම්පස්, 2010 වසරේ පාපන්දු ලෝක කුසලානය ජය ගත් ස්පාඤ්ඤය කණ්ඩායමට ක්‍රීඩා කළ ආන්ද්‍රේස් ඉනියෙස්ටා ජයග්‍රාහකයින්ට හිමි වන පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩාංගනය වෙත රැගෙන ඒමට කටයුතු කළහ.

ජනප්‍රිය ඇමරිකානු රංගන ශිල්පී ටොම් කෘෘස් තරගයේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටියේ ය.

අඛණ්ඩව දෙවැනි වරටත් පාපන්දු ලෝක කුසලානය ජය ගැනීමේ අරමුණින් ලියනොල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාවත්, 2010 වසරෙන් පසුව පාපන්දු ලෝක කුසලානය සිය රටට දිනා දීමේ අරමුණින් ලමීන් යමාල් ප්‍රමුඛ ස්පාඤ්ඤයත් අවසන් මහා තරගය වෙනුවෙන් තරගයට එක්විය.

තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය.

පළමු අර්ධය අවසානයේ ලෝක ප්‍රසිද්ධ ගායන තරු එක්වූ ප්‍රසංගයක්ද පැවැත්විණි.

එහිදී ලෝක ප්‍රසිද්ධ කේ පොප් ගායන කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායම මෙන්ම සුපිරි පොප් ගායක ජස්ටින් බීබර්ද එම ප්‍රසංගය වර්ණවත් කිරීමට එක් වූහ.

සුපිරි පොප් ගායිකා ශකීරා මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය වන ''දයි දයි'' ගීතය ගායනා කළා ය.

තරගයේ දෙවැනි අර්ධය වෙනුවෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයට පිවිසියේ ඉන් අනතුරුවයි.

කෙසේ නමුත් දෙවැනි අර්ධය අවසානයේද කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවීය.

ජයග්‍රාහකයින් තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නේ ඒ අනුවයි.

ඒ අනුව තරගයේ 106වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤය ක්‍රීඩක ෆෙරාන් ටොරෙස් ජයග්‍රාහී ගෝලය රැස් කිරීමට සමත් විය.

මෙම අවසන් මහා තරගයේ වාර්තා වූ එකම ගෝලයද එයයි.

ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල 1ට 0ක් ලෙස ස්පාඤ්ඤයට ජය හිමි කර දෙමිනි.

ස්පාඤ්ඤය ජය ගත් දෙවැනි පාපන්දු ලෝක කුසලානය මෙය වීමද විශේෂත්වයකි.

තරගයේ හොඳම යොවුන් ක්‍රීඩකායට හිමි සම්මානය දිනා ගත්තේ ස්පාඤ්ඤය ක්‍රීඩක පවු කුබාර්සි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක දක්ෂතම ගෝල් රකින්නාට හිමිවන ගෝල්ඩන් ග්ලව් සම්මානය නොහොත් රන් අත්වැසුම ස්පාඤ්ඤය ක්‍රීඩක වූණායි සීමන්ට හිමි විය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි වන ගෝල්ඩන් බෝල් සම්මානය නොහොත් රන් පන්දුවට මෙවර හිමිකම් කීවේ ස්පාඤ්ඤය පාපන්දු නායක රොඩ්‍රි.

පසුගිය වර ශූරතාව දිනූ ආර්ජන්ටිනාවට මෙවර අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.