හිටපු පොලිස්පතිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද...

by Staff writer 20-07-2026 | 9:09 AM

COLOMBO (News 1st) - වෙඩි වැදී මිය ගිය, හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව අද (20) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත වේ.

හිටපු පොලිස්පතිවරයාගේ දේහය  මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙන්නේ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවකයි.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (19) සිටම හිටපු ජනාධිපතිවරුන්, දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියහ.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කල සී. ඩී. වික්‍රමරත්න, පසුගිය සිකුරාදා, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදීමෙන් මිය ගියේ ය.

මිය යන විට හිටපු පොලිස්පතිවරයාගේ වයස අවුරුදු 63 ක්.

1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ සී.ඩී.වික්‍රමරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධරියෙකි.

2019 අප්‍රේල් 28 වැනිදා සිට වසරකට අධික කාලයක් ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.

2020 නොවැම්බර් 28 වැනිදා පොලිස්පතිවරයා ලෙස පත්කෙරුනු සී.ඩී. වික්‍රමරත්න සේවා දිගු කිහිපයකින් පසු පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ලැබූවේ 2023 වසරේ නොවැම්බර් 27 වැනිදායි.