2001 වසරේ ඝාතනයකට එකම පවුලේ 5කට මරණ දඬුවම

2001 වසරේ පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකුට ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම

by Staff writer 18-07-2026 | 4:47 PM

Colombo(News1st) - අත්තනගල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර, තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් ඊයේ (17) මරණ දඬුවම නියම කර ති⁣බේ.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විසිනි.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ අත්තනගල්ල, වෙළගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙකුටයි.

2001 වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා රාත්‍රියේ නිට්ටඹුව, දියකාවිට, වෙළගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී, එහි සිටි පිරිසට ගල් හා පොලුවලින් පහරදී, කඩුවලින් කපා කොටා තරුණයෙකු ඝාතනය කිරීම සහ තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනා වේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින්, විනිසුරුවරයා විසින් ඔවුන්ට මෙම මරණ දඬුවම නියම කරනු ලැබීය.