රැඳවියන්ට ජනපති සමාව දීමේ නව ක්‍රමවේදයක්....

බන්ධනාගාර රැඳවියන්ට ජනපති සමාව දීමේ නව ක්‍රමවේද සකස් කිරීමට, නිර්දේශ ඇතුළත් වාර්තාව අධිකරණ අමාත්‍යාංශ ලේකම් වෙත... - අධිකරණ අමාත්‍යාංශය

by Staff writer 11-07-2026 | 7:59 AM

COLOMBO(News1st) - බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව දීම සඳහා ක්‍රමානුකුල, සාධාරණ සහ විනිවිද භාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කිරීමේ නිර්දේශ සහිත කැබිනට් කමිටු වාර්තාව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන වෙත භාරදී තිබේ.

අධිකරණ අමාත්‍යංශය නිවේදනය කළේ, කමිටු සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම් වෙත භාරදුන් බවයි.

පසුගිය වසරේ ජුනි 25 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් එම කමිටුව පත්කරනු ලැබීය.

කමිටුවේ සෙසු  සාමාජිකයින් වන්නේ, නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, අමාත්‍යාංශ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි මහාචාර්ය වසන්තා සුභසිංහ, විශේෂඥ වෛද්‍ය චිත්තහාරි අභයනායක, හිටපු වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිෂාන් ධනසිංහ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරුන් වන රොෂානි හෙට්ටිගේ සහ චන්දිමා වැලිකලයි

බන්ධනාගාරවල දැනට පවතින අධික තදබදය අවම කිරීම සහ රැඳවියන් පුනරුත්ථාපන ක්‍රමවේදයන්හි පවතින විවිධ අඩුලුහුඬුකම් මග හරවා ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමින්තීන්ට අනුගත විය හැකි බන්ධනාගර පද්ධතියක් සඳහා රජය ගෙන යන ප්‍රතිසංස්කරණවල එක් මූලික පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේ ය.

එම නිර්දේශ සළකා බලා සුදුසු අයුරින් ක්‍රියාත්මක කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ඉදිරි කාලයේදී කටයුතු කරනු ඇති.