තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

by Staff writer 10-07-2026 | 6:49 PM

COLOMBO(News1st) - තඹුත්තේගම, තලාව, ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි 91,810ක ජනතාවකට සෙත සැළසෙන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.

චීන සංවර්ධන බැංකුව (CDB) ලබා දුන් සහන ණයක් යටතේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය 2022 මැයි මස සිට 2024 මැයි දක්වා කාල සීමාව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් අතරමග නැවතී තිබුණද, මෙහි ජාතික වැදගත්කම හඳුනා ගනිමින් ශ්‍රී ලංකා රජයේ අරමුදල්ද යොදා ගනිමින් වත්මන් රජය යටතේ  ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව නිම කෙරිණි.

ප්‍රදේශයේ ව්‍යාප්ත වී ඇති කාලීන වකුගඩු රෝගයට පිළියමක් ලෙස ඉදි කෙරුණු මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ප්‍රදේශයේ ජනතාවගේ සමාජ, ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමටද ඉවහල් වනු ඇත.

මෙමගින් නිවාස ඒකක 25,000ක් සඳහා නව ජල සම්බන්ධතා ලබා දීමට සැලසුම් කර තිබේ.

රුපියල් බිලියන 32ක ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු මම ව්‍යාපෘතිය දිනකට ඝන මීටර් 18,000ක ජල පවිත්‍රාගාරයකින්, ඝන මීටර් 1,500ක ධාරිතාවෙන් යුත් ජල කුලුනු 03කින්, කි.මි 12.75කින් යුත් ජල සම්ප්‍රේෂණ නළ මාර්ග පද්ධතියකින්, කි.මි 158කින් සමන්විත බෙදාහැරීම් ජල නළ පද්ධතියකින් සමන්විතය.

මෙහිදි අදහස් දැක්වූ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා

අද ජනාධිපතිතුමාගේ අතින් විවෘත වූ මේ තඹුත්තේගම ජල ව්‍යාපෘතියෙන්  පවුල් ඒකක 25000කට පානීය ජලය සැපයීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 32ක් වැය වී තිබෙනවා. චීන සංවර්ධන බැංකුවේ සහාය ඇතිව  ක්‍රියාත්මක කළ මේ ව්‍යාපෘතිය පසුගිය කාලයේ ආර්ථික අර්බුදය නිසා ගැටලු රැසක් ඇතිවී ඉදිකිරීම් අතරමග නැවතුන  ව්‍යාපෘතියක්. අපි පසුගිය වසර දෙකේම අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී රාජාංගනය ජලාශයෙන්  ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණා. ගොවින් ඊට විරුද්ධව උද්ඝෝෂණය කළා.  නමුත් අද මේ ව්‍යාපෘතිය විවෘත වන්නේ රාජාංගනය ගොවි නායකයන්ගේ ආශිර්වාදයත් සමඟයි. අද ඔවුන් මෙතනට සහභාගි වී සිටිනවා. ඔවුන් තමන්ගේ ඉල්ලීම් අපට ඉදිරිපත් කළා. අපි ඒවා ඉටු කරන්න සූදානම්. එකක් තමයි මේ ව්‍යාපෘතියට ජලය ලබා ගැනීම නිසා රාජාංගනයේ ගොවියෝ කිසිවෙකුට ජල හිඟයක් ඇතිවෙන්න ඉඩ තියන්න එපා කියන එක.  ස්ථිරවම කියනවා එක බිංදුවක්වත් ඒ ගැන සැකයක් තියාගන්න එපා. ගොවි ජනතාවට ජලය නොදී කෘෂිකර්මාන්තයට ජලය නොදී පානීය ජලය සඳහා පමණක් ජලය ලබා ගැනීම සිදු වන්නේ නැහැ. අපි මේ ජලය සම්පාදනය කරන්නෙත් ගොවි පවුල්වලට.


ඒ වගේම ඔවුන් ඉල්ලීමක් කළා යම් හෙයකින් ජල ප්‍රශ්නයක් නිසා වගාවන්ට හානි වුණොත් ඒ සඳහා වන්දි ගෙවන්න කියලා. ඒ ගැනත් කිසි සැකයක් තියාගන්න එපා. පසුගිය කාලේ වෙච්ච  සෑම හානියකදීම ගොවි ජනතාවට අත දිගහැරලා වන්දි ගෙවපු රජයක් මේක. නිල්වලා ලවණ බාධකය නිසා ගොවීන්ට පහුගිය කන්න හතකට  වූ පාඩුවට  අපි රුපියල් කෝටි 120 ක් වන්දි ගෙව්වා.  යාන් ඔය ව්‍යාපාරයේ ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවී තිබුණා.  අපි ඇවිල්ලා ඒ ගැටලු විසඳලා ඔවුන්ටත් වන්දි ගෙවීම්  කරන්න රුපියල් කෝටි 18 ක් දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කර තිබෙනවා. දිට්වා  නිසා හානි වූ ගොවි බිම් වෙනුවෙන්  ‌ගොවීන් ලක්ෂ දෙකකට රුපියල් කෝටි 1200ක වන්දි ගෙවලා තියෙනවා. ඒ නිසා ගොවි ජනතාවට යම් කිසි පාඩුවක් සිද්ධ වෙනවා නම් ගොවි බිම් වලට යම් හානියක් සිදු වෙනවා නම්, ඒ වෙනුවෙන් අත දිගහැරලා වන්දි ගෙවන්න සූදානම් ආණ්ඩුවක් තමයි අද තියෙන්නේ.

ඒ වගේම තව ඉල්ලීමක් තමයි මේකට ජලය ගන්නවා නම් ගිනිපෙට්ටි පාලම හදන්න කියන එක. අපි රුපියල් කෝටි 24 ක් වියදම් කරලා ඒ ස්ථානයේ වාහන යන්න පුළුවන් පාලමක් හදනවා. තව ටික දවසකින් ඒ සඳහා මුල්ගල් තියනවා. ඒ වගේම ගිනිපෙට්ටි පාලම ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්ද නැත්නම් අලුතෙන්ම පාලමක් හදන්න ඕනද කියලා සොයා බලන්නත්  අපි  විශේෂඥ කණ්ඩායමක් යොදවලා පරීක්ෂා කරගෙන යනවා. ඒ නිසා බය වෙන්න එපා, අපි ගොවි ජනතාවට කිසිම හානියක් පාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරු ඇතුළු පළාතේ මහජන නියෝජිතයෝද, චීන තානාපති Qi Zhenhong මහතා සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ  සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරිහු, ප්‍රදේශවාසී ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ජනාධිපති මාධ්‍ය අංශය
2026-07-10