වෙනිසුවෙලානු භූකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට...

වෙනිසුවෙලාවේ භූකම්පනයෙන් මිය ගිය ගණන 188ක් දක්වා ඉහළට....

by Staff writer 26-06-2026 | 10:06 AM

COLOMBO (News 1st) - වෙනිසුවෙලාවේ භූකම්පන හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 1,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

නිල වාර්තාවලට අනුව අතුරුදන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 200කට ආසන්න නමුත් ඥාතී හිත මිත්‍රාදීන් අතුරුදන් වී ඇත්නම් ඒ බව වාර්තා කිරීමට සකස් කර ඇති වෙනිසුවෙලානු වෙබ් අඩවියක සඳහන් වන්නේ පුද්ගලයින් 30,000ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

කෙසේ නමුත් අන්තර්ජාල, සන්නිවේදන සේවා සහ විදුලිය බිඳ වැටී ඇති පසුබිමක පුද්ගලයින් සම්බන්ධ කරගැනීමට නොහැකිවීම මත ඔවුන් අතුරුදන් වී ඇතැයි වාර්තා කරන්නට ඇති බවද, විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඊයේ මෙරට වේලාවෙන් අලුයම 3. 34ට පමණ තත්ත්පර 39ක කාලයක් තුළ වෙනිසුවෙලාවේ ප්‍රබල භූකම්පන 2ක් වාර්තා විය.

ඒවායේ ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් 7.2ක් සහ 7.5ක් ලෙසයි.

මේ අතර රට පුරා ගොඩනැගිලි 250ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඉන් පවුල් 3,000ක් පමණ අවතැන් වී තිබේ.

භූකම්පනයට පෙර වෙනිසුවෙලාව තුළ අත්‍යවශ්‍ය ආධාර අවශ්‍ය පුද්ගලයින් මිලියන 8ක් පමණ හඳුනාගෙන තිබූ පසුබිමක ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ සහන අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාව දැන් කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවයි.

මේ වසර මුල ඇමරිකානු හමුදා වෙනිසුවෙලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යාමත් සමග රටේ පාලනය අන්තර්වාර රජයකට පැවරිණි.

ඇමරිකානු රජය වෙනිසුවෙලාවට ඩොලර් මිලියන 150ක මානුෂීය ආධාර ලබාදෙන බව නිවේදනය කර ඇති අතර යුරෝපා සංගමයේ රටවල්ද මුදාගැනීමේ සහ සහන කණ්ඩායම් වෙනිසුවෙලාවට පිටත් කර යවා ඇත.

අසල්වැසි බ්‍රසීලය ටොන් 9ක උපකරණ සමගින් සහන කණ්ඩායම් යොදවා ඇති අතර කොලොම්බියාව සහ මෙක්සිකෝව යන රටවලින්ද සහන සේවකයින් වෙනිසුවෙලවට පැමිණෙමින් ඇතැයි වාර්තා වේ.

මේ අතර අති උතුම් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේද හදිසි පරිත්‍යාගයක් වශයෙන් යුරෝ ලක්ෂයක මුදලක් යවා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.