.webp)

නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීම
දේශපාලන බලය සහ දේශපාලන හිතවත්කම් අනිසි ලෙස භාවිත කරමින් මෙන්ම බලහත්කාරයෙන් සිදු කෙරෙන නීති විරෝධී ඉඩම් අල්ලා ගැනීම්, අනවසර ඉඩම් ගොඩකිරීම් සහ වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් හේතුවෙන් නැගෙනහිර පළාතේ සමාජීය, ආර්ථික සහ පරිපාලනමය ගැටලු රැසක් උද්ගත වී ඇත. එකී තත්ත්වය හේතුවෙන් එම කලාපයේ ස්වභාවික පරිසර පද්ධතිය දැඩි ලෙස අනතුරට ලක්ව ඇති අතර, එම අවිධිමත් හා නීති විරෝධී මානව ක්‍රියාකාරකම් සමස්ත නැගෙනහිර වෙරළ තීරය පුරාම දැඩි සමුද්‍ර ඛාදන තත්ත්වයක් සීඝ්‍රයෙන් නිර්මාණය වීමට ද ප්‍රධානතම හේතුවක් බවට පත් ව තිබේ. එමෙන්ම, සිවිල් යුද ගැටුම් අවසන් වී වසර 16ක් ගත වුවද, අවතැන් වූ ජනතාව ස්ථිරව නැවත පදිංචි කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම සහ පරිපාලන ව්‍යුහයන් සැකසීමේදී පොදු නිර්ණායකයන්ගෙන් බැහැර වීම හේතුවෙන් පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි මෙන්ම ජාතික ආරක්ෂාව කෙරෙහි ද ඍජු බලපෑම් එල්ල වී ඇත. එම ගැටලු සඳහා කඩිනම් හා ස්ථිර විසඳුම් සෙවීම, නීතිමය පියවර ගැනීම සහ ආයතනගත සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී:
'නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම' නමින් දකුණු පළාතේ හිටපු ඉඩම් කොමසාරිස් සහ වර්තමාන දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්, සේනක පල්ලියගුරුගේ මහතාගේ සභාපතිත්වයෙන් සහ අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම.
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ ඒකකයක් වහාම ස්ථාපිත කිරීම සහ දේශපාලන බලය භාවිත කරමින් සිදු කෙරෙන සියලුම අනවසර ඉඩම් අල්ලා ගැනීම් සහ ගොඩකිරීම් නතර කිරීම පිණිස ආරක්ෂක අංශ වෙත පූර්ණ බලතල ලබා දීම.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වසර 05කට හෝ ඊට පෙර වාණිජ වටිනාකමකින් යුතුව ලබා දී ඇති නමුත්, මෙතෙක් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති ඉඩම් වහාම රජයට පවරා ගැනීම.
එලෙස පවරා ගනු ලබන ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා දී විධිමත් වැඩසටහනක් යටතේ ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා ලබා දීම.
නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඉහළ විභවතාව භාවිත කරමින්, වෙරළ පද්ධතිය ද ආරක්ෂා වන පරිදි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිණිස කඩිනමින් විධිමත් සැලැස්මක් සකස් කිරීම.
නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත හෝටල් පවත්වාගෙන යාමේදී රාජ්‍ය නිලධාරින් විසින් අපක්ෂපාතීව සහ විනිවිදභාවයකින් යුතුව නීතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම.
රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම
රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ෂයට අදාළව චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලබන අතර, අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයකින් යුතුව, අක්‍රමිකතා අවම වන අයුරින් කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම එහි අරමුණ වේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරින්ගේ ද අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි ද අවධානය යොමු කරමින් නව චක්‍රලේඛය සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, 2027 වර්ෂයේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන හා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛය නිකුත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, 'සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහන' දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05ට අඩු ළමුන් අතර දුර්වල ශාරීරික සහ මුඛ ස්වස්ථතාව, අධික සීනි සහ ලුණු පරිභෝජනය, පැණි බීම සහ බේකරි නිෂ්පාදන ආහාරයට ගැනීම, ප්‍රමාණවත් ශාරීරික ව්‍යායාම සහ නින්ද නොමැතිකම, ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීම, පරිසරය සඳහා සංවේදී නොවීම වැනි අයහපත් සෞඛ්‍ය හැසිරීම් බහුලව පවතින බව නිරීක්ෂණය වී ඇත. එකී ගැටලු සම්බන්ධයෙන් පවතින විද්‍යාත්මක දත්ත සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025-2029 මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහුආංශික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව, මුල් ළමාවිය සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් 'සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහන' නමින් වැඩසටහනක් සකස් කර යුනිසෙෆ් සංවිධානයේ මූල්‍ය සහයෝගය ඇතිව 2025 වර්ෂය තුළදී පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කරනු ලැබ තිබේ:
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික හා සුදුසු සැකැස්ම වශයෙන් පෙර පාසල් ප්‍රජාව තෝරා ගැනීම.
සෞඛ්‍ය, මුල් ළමාවිය සංවර්ධනය සහ පූර්ව ළමාවිය අධ්‍යාපන අංශවලින් තෝරා ගත් නිලධාරින් 277දෙනෙකු වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවන් වශයෙන් පුහුණු කිරීම.
එම ප්‍රධාන පුහුණුකරුවන් විසින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරා ගත් සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල් 900ක ගුරුවරුන් පුහුණු කර අදාළ ක්‍රියාකාරකම් එම පෙර පාසල් තුළ සිදු කිරීම සඳහා අවශ්‍ය සන්නිවේදන මෙවලම් පැකේජය බැගින් ලබා දීම.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අදාළ සන්නිවේදන මෙවලම් පැකේජය භාවිත කිරීම පිළිබඳව සහ තවදුරටත් එම පැකේජය භාවිත කිරීමට පවතින ශක්‍යතාව පිළිබඳව පසුවිපරම් වැඩසටහනක් මඟින් තහවුරු කර ගැනීම.
ඉහත සඳහන් පරිදි 2025 වර්ෂය තුළ එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් අත් කර ගනු ලැබ ඇති ප්‍රගතිය සැලකිල්ලට ගෙන, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් ආරම්භ කරනු ලැබ ඇති STEP ‑ UP මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන යටතේ 'සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහන' දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා ජාතික නීති ආධාර දිනය ප්‍රකාශයට පත් කිරීම
අවදානමට ලක් විය හැකි කණ්ඩායම් සහ ආන්තීකරණයට ලක් වූ තැනැත්තන් ඇතුළු සියලු පුරවැසියන්ට යුක්තියට ප්‍රවේශ වීම සඳහා පහසුකම් සැලසීමේ අපේක්ෂාවෙන් 1978 අංක 27 දරන නීති ආධාර පනත යටතේ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත. නීති ආධාර සේවා සැපයීම සහ නීතිය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම හරහා මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත්, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහාත්, යුක්තිය වෙත ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සඳහාත් කොමිසම සැලකිය යුතු දායකත්වයක් දක්වයි. නෛතික අයිතිවාසිකම් සහ පිළියම් පිළිබඳව මහජන දැනුම්වත්භාවය වැඩිදියුණු කිරීම, නීතිය බලගැන්වීම සම්බන්ධයෙන් ජාතික සංවාදයකට පහසුකම් සැලසීම නීති ආධාර සේවාවන්හි වැදගත්කම පිළිබඳව මහජනතාවගේ අවබෝධය ඉහළ නැංවීම අරමුණ කර ගනිමින් ජාතික නීති ආධාර දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, 1978 අංක 27 දරන නීති ආධාර පනත සහතික කරන ලද ජූලි මස 06 වන දින 'ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය' ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහා පරිගණක ජාලයක් ස්ථාපිත කිරීම
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ජාතික මට්ටමේ විභාග ද ඇතුළත්ව විභාග 300කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව පවත්වනු ලබන අතර එකී විභාගයන්හි සියලුම දත්ත සහ මෙහෙයුම් හා බැඳී ඇති තීරණාත්මක කාර්යයන් කළමනාකරණය කිරීම සඳහා පරිගණක කළමනාකරණ තොරතුරු පද්ධතියක් භාවිත කරනු ලබයි. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් කාර්යයන්, එක් එක් අංශ සඳහා අනන්‍ය වූ පරිගණක ජාල ලෙස පැවතීම හේතුවෙන් විභාග ක්‍රියාවලියේ බොහෝ අත්‍යවශ්‍ය අදියරයන්, මානව සම්පත පමණක් භාවිතයෙන් සිදු කිරීම කළ යුතු අතර, දත්ත සහ ලේඛන භෞතික මාර්ග ඔස්සේ ශාඛා අතර මාරු කරනු ලැබේ. ඒ හේතුවෙන්, කාර්යක්ෂමතාව අඩු වීම, ප්‍රමාදයන් සිදු වීම, භෞතික හා මානව සම්පත් නාස්තිය ආදිය සිදු වන බව නිරීක්ෂණය කරනු ලැබ තිබේ. එබැවින්, වර්තමානයේ ක්‍රියාත්මක රාජ්‍ය අංශ සේවාවන් ඩිජිටල්කරණ ක්‍රියාවලියට අනුගතව විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල යටිතල පහසුකම් උත්ශ්‍රේණිගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලු ශාඛා ආවරණය වන පරිදි පුළුල් පරිගණක ජාලයක් සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම හා ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ප්‍රදාන ආධාර වැඩසටහන
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ප්‍රදාන ආධාර වැඩසටහන යටතේ 2010 වර්ෂයේ සිට තරුණ විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් ජපාන රජය විසින් සහාය දක්වනු ලබයි. ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට අදාළ ක්ෂේත්‍රයන්හි උසස් අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය ප්‍රවීණතාව සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට රාජ්‍ය නිලධාරින්ට අවස්ථාව සලසා දිම තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා මෙම වැඩසටහන කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත. එම වැඩසටහන ජපාන රජයේ නිල සංවර්ධන සහයෝගිතා රාමුව යටතේ මූල්‍යකරණය කරනු ලබන අතර, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. වාර්ෂිකව රාජ්‍ය නිලධාරින් 15දෙනෙකුට පමණ මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව පිරිනමනු ලබන අතර, මේ වන විට පශ්චාත් උපාධි පාඨමාලා 255ක් සහ ආචාර්ය උපාධි පාඨමාලා 16ක් සඳහා අවස්ථාව සලසා දී තිබේ. එකී වැඩසටහන යටතේ 2026 වර්ෂය සඳහා ලබා දීමට එකඟතාව පළ කරනු ලැබ ඇති ජපන් යෙන් මිලියන 282ක ප්‍රදානය (රුපියල් මිලියන 575ක පමණ) ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දුම්රිය මාර්ග විද්‍යුත්කරණ වැඩසටහන
වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුම්රිය මෙහෙයුම්වල බහුතරය ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සඳහා බොහෝ දුම්රිය මාර්ග, සංඥා පද්ධති සහ ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පවතී. එබැවින්, නවීන හා තිරසර දුම්රිය ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, නව දුම්රිය මාර්ග ඉදිකිරීම, ද්විත්ව මාර්ග ඉදි කිරීම, සංඥා පද්ධති වැඩිදියුණු කිරීම සහ දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීම කේන්ද්‍ර කර ගත් දුම්රිය සංවර්ධන වැඩසටහන් කිහිපයක් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. ඒ අනුව, ප්‍රවාහන ධාරිතාව වැඩිදියුණු කිරීම, ගමන් කාලය අඩු කිරීම සහ පරිසර හිතකාමී හා තිරසර මහජන ප්‍රවාහන සේවාවකට සහාය වීමේ අරමුණින් අධික මගී ඝනත්වයක් පවතින කොරිඩෝවන්හි දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීමට හඳුනාගනු ලැබ ඇත. එම සංවර්ධන කටයුතු රටේ දිගුකාලීන ප්‍රවාහන නවීකරණ උපායමාර්ගයේ කොටසක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, පහත සඳහන් දුම්රිය මාර්ග විද්‍යුත්කරණය සහිතව ඉදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
ප්‍රධාන මාර්ගය - ගම්පහ, වේයන්ගොඩ, මීරිගම සහ පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන ගොඩනැගිලි සංවර්ධනය ද ඇතුළුව මරදාන සිට රාගම දක්වා දුම්රිය මාර්ගය.
කැලණි වැලි මාර්ගය - මරදාන සිට මාකුඹුර දක්වා දුම්රිය මාර්ගය.
මුහුදුබඩ මාර්ගය - මරදාන සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය.
සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සඳහා ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතිය ස්ථාපනය කිරීම
ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ගුවන් සේවා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් අතර මෙහෙයුම් සහ නිරුපද්‍රිතතා සඳහා ඉතා වැදගත් මූලික වේදිකාවක් ලෙස ගගන නාවික පණිවිඩ හැසිරවිමේ පද්ධතිය ක්‍රියා කරනු ලබයි. මෙරට ජාතික ගුවන් සංතරණ සේවා සැපයුම්කරු වන සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ දැනට පවතින ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතියේ ජීව කාලය අවසන් වෙමින් පවතින බැවින්, දැනට පවතින පද්ධතිය වෙනුවට නවීන පද්ධතියක් සැපයීම, ස්ථාපනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ ප්‍රාග්ධන අයවැය යටතේ රුපියල් මිලියන 1,000ක ඇස්තමේන්තුගත පිරිවැයක් මත රත්මලානේ පිහිටි ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඉන්දියාවේ දිල්ලි (DEL) ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් මගීන් හසුරුවාලීමේ සහ භූමි සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
ඉන්දියාවේ දිල්ලි ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මගීන් හසුරුවාලීම සහ භූමි සේවා සපයා ගැනීම සඳහා බිම් මෙහෙවර සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 02ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Bird Flight Services (India) Private Limited වෙත එකී සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, 2026-06-01 දින සිට 2029-05-31 දින දක්වා වසර 03ක කාලසීමාවක් සඳහා ඉන්දියානු රුපියල් මිලියන 332.85 ක මුදලකට පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම
මෙරට මැතිවරණ සඳහා වන නෛතික විධිවිධාන යටතේ 2004 වර්ෂයේ සිට පවත්වන ලද මැතිවරණ/ඡන්ද විමසීම්වල දී ඡන්දය සලකුණු කිරීම සඳහා පැමිණෙන ඡන්දදායකයින් වලංගු හැඳුනුම්පතක් මඟින් ස්වකීය අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර, එම සියලු ඡන්දදායකයින් නොමැකෙන තීන්ත භාවිත කිරීම මඟින් උචිත ලකුණින් සලකුණු කිරීම ද අනිවාර්ය වේ. එම කාර්යයන් ද්විත්වයෙන්ම අපේක්ෂා කරනුයේ එක් ඡන්දදායකයෙක් එක් මැතිවරණයකදී එක් වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීමයි. එකම අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් එකවර අනුගමනය කිරීමට සිදු වීම තුළින් ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරනු ලබන රාජකාරින්හි කාර්යක්ෂමතාවට බාධාවක් ඇති වන බව මෙන්ම, රජයට අමතර වියදමක් දැරීමට සිදු වන බව නිරීක්ෂණය කරනු ලැබ තිබේ. එබැවින් නොමැකෙන තීන්ත භාවිත කර ඡන්දදායකයා උචිත ලකුණින් සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන සියලුම මැතිවරණ පනත්වලින් ඉවත් කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, පහත සඳහන් නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.
1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.
(262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ. වගන්තිය.
1981 අංක 7 දරන ජනමතවිචාරණ පනතේ 21 වැනි වගන්තිය.
සත්ව සුබසාධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම
සත්ව සුබසාධනය සම්බන්ධයෙන් සකස් කරනු ලැබ තිබු පනත් කෙටුම්පතෙහි විධිවිධානයන් පරීක්ෂා කර බලා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2025-12-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත. එකී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව සත්ව සුබසාධනය සම්බන්ධයෙන් වූ අවසන් පනත් කෙටුම්පත සකස් කරන ලෙස 2026-05-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සත්ව සුබසාධන පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පළාත් පාලන ආයතනය ඡන්ද විමසීම්වලදී ජයග්‍රහණය කර එම ආයතනවල නියෝජ්‍ය නගරාධිපති/උපසභාපති ලෙස තේරී පත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයන් වෙත වැටුප් රහිත නිවාඩු ලබා දීම
2021-06-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2021හි විධිවිධාන අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලදී ජයග්‍රහණය කර එම ආයතනවල නියෝජ්‍ය නගරාධිපති/උපසභාපති ලෙස තේරී පත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයන් වෙත මසයකට දින 06ක් වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමේ හැකියාව පවතී. එසේ වුවද, අදාළ පළාත් පාලන ආයතනයේ රැස්වීම්වලට සහභාගි වීමට සහ ඊට අනුබද්ධිත කාර්යයන්හි නිරත වීමට එම රාජකාරි නිවාඩු කාලය ප්‍රමාණවත් නොවන්නේ නම්, එම නිලධාරින් වෙත වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සුදුසු බව ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලදී ජයග්‍රහණය කර එම ආයතනවල නියෝජ්‍ය නගරාධිපති/උපසභාපති ලෙස තේරී පත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයන් වෙත වැටුප් රහිත නිවාඩු ලබා දීමට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ විධිවිධානයන් සංශෝධනය කරමින් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම ස්ථාපිත කිරීම
රටක දැනුම මත පදනම් වූ ආර්ථික වර්ධනය වේගවත් කිරීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම, තරගකාරිත්වය ඉහළ නැංවීම සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකේ. එමඟින්, අගය එකතු කළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම, ජාතික ගැටලු සඳහා නව්‍ය විසඳුම් හඳුන්වා දීම සහ සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීම සඳහා දායකත්වයක් ලබා දෙනු ලබයි. මෙරට පර්යේෂණ හා සංවර්ධන කටයුතු සීමිත ක්ෂේත්‍ර කිහිපයකට පමණක් සංකේන්ද්‍රණය වී තිබීම, ආයතන අතර සම්බන්ධීකරණය දුර්වල වීම සහ ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය හා මූල්‍යමය සහයෝගය නොලැබීම හේතුවෙන් ඒ සඳහා යොදවා ඇති සම්පත්වලින් අපේක්ෂිත ප්‍රතිලාභ අත් කර ගැනීමට නොහැකි වී ඇත. එබැවින්, පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධ කළ හැකි කාර්යක්ෂම හා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි ලොව දියුණු රටවල් තුළ ස්ථාපිත කර ඇති ආකාරයේ ජාතික කොමිසමක් සහ එම කොමිසමේ කාර්යයන් ඉටු කරවා ගැනීමේ ශක්‍යතාව සහිත කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, විවිධ අමාත්‍යාංශ සහ ආයතන තුළ වෙන් වෙන්ව ක්‍රියාත්මක වන පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාදාමය එකම රාමුවක් තුළ බලගැන්වීම සහ පර්යේෂණ ප්‍රතිඵල ඵලදායීව යොදා ගැනීම සඳහා පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා වන නීතිමය විධිවිධාන හඳුන්වා දීම පිණිස මූලික කෙටුම්පතක්/සංකල්ප පත්‍රිකාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය - 2027
2024 අංක 44 දරන මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව මූල්‍ය විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මධ්‍යකාලීන ක්‍රමෝපායන් සකස් කර ක්‍රියාත්මක කළ යුතු වේ. එම පනතේ 11 වගන්තිය පරිදි මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් මධ්‍යකාලීන මූල්‍ය රාමුව සහිත මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය වාර්ෂිකව සකස් කර ඉදිරිපත් කළයුතු වේ. මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මඟින් ජාතික අයවැය සකස් කිරීම සඳහා වන උපායමාර්ගික පදනම සපයන අතර, එයට රජයේ මූල්‍ය අරමුණු, ඉලක්කයන් සහ ප්‍රතිපත්ති ඇතුළත් වේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය තුළ මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීමට එල්ල වන ප්‍රධාන මූල්‍ය අවදානම් මූලාශ්‍රයන් නිශ්චිතව දැක්විය යුතු අතර, ඒවායින් සිදු විය හැකි රාජ්‍ය මූල්‍ය බලපෑම පිළිබඳ ඇස්තමේන්තුවක් ද ඊට ඇතුළත් කළ යුතු වේ. මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු අතර, ඉන් අනතුරුව අදාළ වර්ෂයේ ජුනි මස 30 දින හෝ ඊට ප්‍රථම මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ. වාර්ෂික අයවැය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මත පදනම්ව සකස් කළ යුතු වේ. ඒ අනුව, 2027 වර්ෂය සඳහා වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සඳහාත්, එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහාත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ 2025 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිම
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 25වන වගන්තියට අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් රජයේ ණය ගැනීම් සහ අනෙකුත් ණය කළමනාකරණය මෙහෙයුම්, රාජ්‍ය ණය ශේෂයන්, ඇපකර සහ උප ණය දීමේ ක්‍රියාකාරකම් සහ පෙර මූල්‍ය වර්ෂය තුළ ඇතුළත් කර ඇති අනෙකුත් මූල්‍යකරණ විධිවිධාන පිළිබඳ වාර්ෂික වාර්තාවක් සකස් කළ යුතුය. එමෙන්ම, එකී පනතෙහි සඳහන් පරිදි මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් වාර්ෂික වාර්තාවෙහි කෙටුම්පත සමාලෝචනය කර අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අතර, ඉන්පසු පෙර මූල්‍ය වර්ෂය අවසන් වී දින 180ක් ඇතුළත අනුමත වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුවේ. පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන එකී වාර්තාව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිල වෙබ් අඩවිවල ද ප්‍රකාශයට පත් කළ යුතු වේ. ඒ අනුව, 2025-12-31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් සකස් කරන ලද වාර්ෂික වාර්තාව සඳහාත්, එම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහාත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
එල් නිනෝ (EL NINO) දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා විශේෂ අමාත්‍ය අනුකමිටුවක් සහ නිලධාරි කමිටුවක් පත් කිරිම
ශ්‍රී ලංකාව දේශගුණික විචල්‍යතාවන්ට ඉතා සංවේදී රටක් වන බැවින්, ගෝලීය දේශගුණික සංසිද්ධියක් වන එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මෙරට වර්ෂාපතන රටාවන්හි වෙනස්කම්, අධික උෂ්ණත්වය, නියඟ සහ ගංවතුර වැනි ආපදා තත්ත්වයන් ඇති වීමේ අවදානම ඉහළ තත්ත්වයක පවතින අතර, එමඟින් රටේ ආර්ථික හා සමාජ ක්ෂේත්‍ර රැසකට අහිතකර බලපෑම් එල්ල වීමේ හැකියාවක් පවතී. දේශගුණික විපර්යාසයන්ගේ බලපෑමත් සමඟ මෙම වර්ෂයේ අග භාගයේ සිට ඉදිරියට ඇති විය හැකි බවට විද්‍යාත්මක පුරෝකථන මඟින් තහවුරු කරනු ලැබ ඇති එල් නිනෝ තත්ත්වයන්ගේ ප්‍රභලත්වයට සහ බලපෑමට මුහුණ දීම පිණිස කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත. එබැවින්, සිදු විය හැකි බලපෑම් අවම කිරීම සඳහා රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජා සංවිධාන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ජාතික මට්ටමේ ක්‍රියාකාරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, පහත සඳහන් පියවර ගැනීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
(i) එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ජල, විදුලි සහ ආහාර අර්බුද කළමනාකරණය කිරීම පිණිස කෙටිකාලීන, මධ්‍යකාලීන සහ වාර්ෂික සැලසුම් සකස් කිරීම, සියලුම රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සහ මහජනතාව දැනුම්වත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිණිස පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම:
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මැතිතුමා,
පරිසර අමාත්‍ය - (සභාපති).
ගරු කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා,
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය.
ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමා,
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය.
ගරු අනුර කරුණාතිලක මැතිතුමා,
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය; සහ බලශක්ති අමාත්‍ය.
ගරු වසන්ත සමරසිංහ මැතිතුමා,
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය.
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මැතිතුමා,
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය.
(ii) ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට සහාය වීම පිණිස පහත සඳහන් සංයුතියෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීම:
ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි - (සභාපති)
ලේකම්, පරිසර අමාත්‍යාංශය.
ලේකම්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය.
ලේකම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය.
ලේකම්, බලශක්ති අමාත්‍යාංශය.
ලේකම්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය.
ලේකම්, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය.
වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්.
අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව.
අධ්‍යක්ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
අධ්‍යක්ෂ ජනරාල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය.
අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය.
අධ්‍යක්ෂ, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය.
සාමාන්‍යාධිකාරි, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය.
සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි, ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්.
