ඩෙංගු අවදානම් කොට්ඨාශ සංඛ්‍යාව 331ක් දක්වා ඉහළට

ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ සංඛ්‍යාව 331 දක්වා ඉහළට - ජාතික ඩෙංගු මර්දන ඒකකය

by Staff writer 23-06-2026 | 5:12 PM

COLOMBO(News1st) - පවතින මෝසම් කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ සංඛ්‍යාව 331 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, දැනට ඩෙංගු අවදානම සහිත ග්‍රාම නිළධාරි වසම් 538ක් හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,530 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛයාව 29ක්.

පවතින ශීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තිය හමුවේ හෙට සිට යලිත් ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි තුන් දින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවට දැනුම් දී ඇත්තේ, මදුරු මර්දනයට ක්‍රියාත්මක පවිත්‍රතා කටයුතු වෙනුවෙන් සහය දීම සදහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක භට කණ්ඩායම් සහ යන්ත්‍රෝපකරණ ලබා දෙන ලෙසයි.

ප්‍රාදේශීය ලේකම්වරයෙකු විසින් සිදුකරන ඉල්ලීම් අනුව ලඟම පිහිටි හමුදා කඳවුරෙන් එම පහසුකම් සලසන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඊට අමතරව, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක පවිත්‍රතා කටයුතු අධීක්ෂණයට හමුදා සාමාජිකයින් අනුයුක්ත කිරීමට ද පියවර ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

පවතින තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද(23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙනි.

අද(23) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද අවධාරණය කෙරුණේ මදුරු මර්ධන වැඩසටහන් සාර්ථක වීමට නම් ඒවා අඛණ්ඩව සිදුකළ යුතු බවයි.