රන් පැහැ T56:දුමින්ද යළි සැකකරුවෙක් කෙරේ...

රන් ආලේපිත T 56 ගිනි අවි නඩුවේ සැකකරුවෙකු ලෙස දුමින්ද දිසානායක යළි නම් කෙරේ

by Staff writer 19-06-2026 | 9:49 PM

COLOMBO(News1st) - රන් ආලේපිත T 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන නඩුවෙන් මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක නීතිපතිවරයාගේ උපදෙස් අනුව සාක්ෂි ඇති බැවින් යළි සැකකරුවකු ලෙස නම් කර ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් වෙන ලෙස නොතීසි නිකුත් කරන්නැයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කළේය.

ඒ නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම නඩුවට අදාළව හිටපු මන්ත්‍රීවරයා මුදාහරින බව පුර්වගාමී ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා ඉකුත් වසරේ ජූලි 29 වැනිදා නියෝග කළේය.

ඒ නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙනි.

වැල්ලවත්ත, හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය වසරේ මැයි මස 23 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේය.

අනතුරුව ඔහු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේය.

ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිදහස් කර තිබුණි.