ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට..

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42000 ඉක්මවයි..

by Staff writer 17-06-2026 | 7:51 AM

COLOMBO(News1st) - වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,232 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, තවදුරටත් දෛනිකව ඩෙංගු රෝගීන් 650 ක් පමණ වාර්තා වන බවයි.

කොළඹ ගම්පහ ගාල්ල මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක ඩෙංගු ව්‍යාප්තිය වැඩි දිස්ත්‍රික්ක ලෙසට හඳුනා ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ ඩෙංගු වාහක මදුරුවෙකු වන ඊඩිස් ඊජිප්ටායි මදුරු ගහනය ඉහළ යාමද ඩෙංගු රෝගීන් වැඩිවීමට බලපා ඇති බවයි.

පෙර වසරවල වාර්තා නොවූ ඩෙංගු වෛරස් දෙවැනි කාණ්ඩය ව්‍යාප්තිය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපා ඇති බව වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ ය.

මේ අතර දීපව්‍යාප්ත මදුරු මර්දන වැඩසටහන අද තුන් වැනි දිනටත් ක්‍රියාත්මකයි.

අද දිනයේත් පොදු ස්ථානවල මදුරු මර්දනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.