අමාත්‍ය මණ්ඩල තීරණ (2026-06-15)

2026-06-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

by Staff writer 16-06-2026 | 2:50 PM

COLOMBO(News1st) - 2026-06-15 දින පැවති  අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත පරිදි වේ.


හම්බන්තොට මහ නගර සභා සීමාවේ කෑලියපුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ඉඩම් කොටසක් කර්මාන්ත, බහාලුම් හා ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම මත බැහැර කිරීම

රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තියෙහි විධිවිධාන යටතේ දීමනා පත්‍රයක් මඟින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභා සීමාව තුළ පිහිටි කෑලියපුර ග්‍රාම නිලධාරි වසමේ හම්බන්තොට‌‑ගොන්නෝරුව ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති අක්කර 108 රූඩ් 03 පර්චස් 37.85ක ඉඩම් කොටස දැනට ප්‍රශස්ත භාවිතයකට යොදා ගෙන නොමැත. එම ඉඩම් කොටස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති විසල් හම්බන්තොට සංවර්ධන සැලැස්මේ මධ්‍ය වාණිජ කලාපය තුළ පිහිටා තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් වඩා සුදුසු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරිමට පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් එකී ඉඩම් කොටසේ කර්මාන්ත, බහාලුම් හා ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයින් වෙත අවුරුදු 50ක බදු පදනම මත එම ඉඩම් කොටස බැහැර කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 

සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට අදාළ සියලු කාර්යයන් ඒකාබද්ධ පාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීම

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ ස්ථාපිත සේවක අර්ථසාධක අරමුදල මඟින් සාමාජිකයන් මිලියන 2.5කට අධික සංඛ්‍යාවක් ආවරණය කරනු ලබන අතර, එහි වත්කම් රුපියල් ට්‍රිලියන 4.9 ඉක්මවනු ලබයි. සේවක අර්ථසාධක අරමුදලේ භාරකාරිත්වය, ආයෝජන කළමනාකරණය, මුල්‍ය පරිපාලනය සහ සාමාජික ප්‍රතිලාභ ගෙවීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වන අතර, සේවා යෝජකයින් සහ සේවකයින් ලියාපදිංචි කිරීම, අනුකූලතාව බලාත්මක කිරීම, හිඟ මුදල් අය කර ගැනීම සහ පනත යටතේ සේවක අයිතිවාසිකම් නීතිමය වශයෙන් ආරක්ෂා කිරීමේ වගකීම කම්කරු දෙපාර්තමේන්තුව සතු වේ. 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත මඟින් පිහිටුවන ලද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල, සේවායෝජකයින් සහ සේවකයින් නියෝජනය කරනු ලබන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් මඟින් පාලනය වේ. එකී අරමුදල මඟින් මේ වන විට ක්‍රියාකාරී සාමාජිකයින් මිලියන 3කට අධික සංඛ්‍යාවක් ආවරණය වන අතර, එහි වත්කම් ප්‍රමාණය බිලියන 637.5ක් ඉක්මවා ඇත. සමාජ ආරක්ෂණය සඳහා ත්‍රෛපාර්ශ්වික පාලනයක් පැවතීම ජාත්‍යන්තරව පිළිගත් හොඳම පිළිවෙතක් වන අතර, එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ප්‍රවර්ධනය කරනු ලබන මූලික මූලධර්මයකි. එබැවින්, සාමාජිකයන්ගේ වත්කම් පිළිබඳව පූර්ණ නීතිමය සහ මුල්‍යමය ආරක්ෂාව තහවුරු කරමින් ජාත්‍යන්තර හොඳම පිළිවෙත් හා අනුකූලව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සියලු කාර්යයන් රජය, සේවායෝජකයින් සහ සේවකයින් නියෝජනය කරන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් යටතේ ඒකාබද්ධ පාලන රාමුවක් යටතට පත් කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර අත්සන් කරනු ලැබ ඇති ගුවන් සේවා ගිවිසුම සංශෝධනය කිරීම

ශ්‍රී ලංකා රජය සහ තුර්කි රජය ගුවන් සේවා ගිවිසුමකට 2008-12-02 දින අත්සන් තබා ඇත. දෙරට අතර ගුවන් සේවා සඳහා වන නියාමන රාමුව තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, ගුවන් සේවා සබඳතා සමාලෝචනය කිරීමටත්, දෙපාර්ශ්වය විසින් පසුව සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී පවත්නා ගුවන් සේවා ගිවිසුමේ 11වන වගන්තිය (ගාස්තු) සංශෝධනය කිරීම පිණිස එකඟතාවකට පැමිණ තිබේ. ඒ සඳහා වන සාකච්ඡා සටහනට දෙපාර්ශ්වය විසින් 2016-12-07 දින අත්සන් තබා ඇත. එම ගිවිසුමේ යෝජිත සංශෝධනය සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, පවතින ගුවන් සේවා ගිවිසුමේ ගාස්තු රාමුව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දැනට පවත්නා ගුවන් සේවා ගිවිසුම සඳහා වන යෝජිත සංශෝධනයට අත්සන් තැබීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 

ආසියා ශාන්තිකර සහයෝගිතා ගුවන් සේවා ආරක්ෂක වැඩසටහනේ 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම සහ 14 වන ආසියා සහ ශාන්තිකර කලාපීය ගුවන් සේවා ආරක්ෂක සම්බන්ධීකරණ සංසදය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම

කලාපීය ප්‍රධාන ගුවන් සේවා ආරක්ෂක සමුළු දෙකක් වන, ආසියා ශාන්තිකර සහයෝගිතා ගුවන් සේවා ආරක්ෂක වැඩසටහනේ (CASP AP) 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම සහ 14 වන ආසියා සහ ශාන්තිකර කලාපීය ගුවන් සේවා ආරක්ෂක සම්බන්ධීකරණ සංසදය (RASCF) සඳහා සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකාව වෙත ආරාධනාවක් ඉදිරිපත්ව ඇත. ආසියා ශාන්තිකර සහයෝගිතා ගුවන් සේවා ආරක්ෂක වැඩසටහනේ මෙහෙයුම් කමිටුව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සහයෝගිතා ගුවන් ආරක්ෂක වැඩසටහනේ ආසියා සහ ශාන්තිකර කලාපයේ ප්‍රධාන තීරණ ගැනීමේ සමුළුව වේ. එකී මෙහෙයුම් කමිටුවේ 2026-2027 කාලපරිච්ඡේදය සඳහා වන සභාපති ධුරය ශ්‍රී ලංකාව විසින් එම සමුළුවේදී භාර ගැනීමට නියමිතව ඇත. නැගී එන තර්ජන, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන් සහ නිර්දේශිත පරිචයන් ක්‍රියාත්මක කිරීම, ධාරිතා වර්ධන ක්‍රියාකාරකම් සහ රාජ්‍යයන් හා ජාත්‍යන්තර සංවිධාන අතර සම්බන්ධීකරණය පිළිබඳව සාකච්ඡා කෙරෙන කලාපීය වේදිකාවක් ලෙස ආසියා සහ ශාන්තිකර කලාපීය ගුවන් සේවා ආරක්ෂක සම්බන්ධීකරණ සංසදය කටයුතු කරනු ලබයි. එම සමුළු දෙක සඳහා සාමාජික රටවල් 41ක නියෝජිතයින්, ජාත්‍යන්තර සංවිධාන සහ නිරීක්ෂකයින් ඇතුළු නියෝජිතයින් 80ක් පමණ සහභාගි වීමට නියමිතය. ඒ අනුව, ආසියා ශාන්තිකර සහයෝගිතා ගුවන් සේවා ආරක්ෂක වැඩසටහනේ 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම 2026-06-23 සහ 24 යන දිනවල සහ 14 වන ආසියා සහ ශාන්තිකර කලාපීය ගුවන් සේවා ආරක්ෂක සම්බන්ධීකරණ සංසදය 2026-06-25 සහ 26 යන දිනවල මෙරටදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අලිමිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහනයේ සිදු වූ වැඩිවීම, සංවර්ධන කටයුතුවල සිදු වූ වර්ධනය, වනාන්තර එළිපෙහෙළි කිරීම වැනි හේතු මත වන අලින්ගේ සාම්ප්‍රදායික සංක්‍රමණික මාර්ග අහිමි වීමේ සහ ඔවුන්ගේ වාසස්ථාන විනාශ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 19ක් තුළ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341න් 134ක් තුළ දීර්ඝ කාලයක සිට අලි-මිනිස් ගැටුම් අඛණ්ඩ හා සීඝ්‍ර ලෙස වර්ධනය වීම නිරීක්ෂණය කරනු ලැබ තිබේ. 2024 වර්ෂයේදී සිදු කරන ලද වන අලි සමීක්ෂණයට අනුව මෙරට වන අලි 7,450ක් පමණ සිටින බව ගණනය කර ඇත. අලි-මිනිස් ගැටුම් හේතුවෙන් වාර්ෂිකව මිනිස් ජීවිත සහ වන අලි මරණ සැලකිය යුතු සංඛ්‍යාවක් සිදු වන බව වාර්තා වී තිබේ. එසේම, වන අලින් විසින් වර්ෂයකට සිදු කරනු ලබන දේපොළ හානි දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වේ. 2020 වසරේදී 'ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක්' සකස් කර ඇති නමුත්, වර්තමාන අලිමිනිස් ගැටුම්වල තත්ත්වය එම කාලයට සාපේක්ෂව වෙනස් වී ඇති බැවින්, ඒ සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, අලිමිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පාසල් නේවාසිකාගාරවල පහසුකම් සංවර්ධනය කිරීම

මෙරට පාසල්වල පවතින නේවාසිකාගාර අතරින් නේවාසිකාගාර 126ක ගොඩනැගිලි පැරණි තත්ත්වයේ පවතින අතර, ඒවායේ නඩත්තු හා අලුත්වැඩියා කිරීම් අවම මට්ටමක පවතී. ඒ හේතුවෙන් පාසල් නේවාසිකාගාරවල භෞතික, සනීපාරක්ෂක, සෞඛ්‍ය හා ආරක්ෂක පහසුකම් සීමාසහිත වීම මත ඒවායේ නේවාසිකව සිටින සිසුන්ගේ ජීවන තත්ත්වයට සහ අධ්‍යාපන කාර්යසාධනයට ඍණාත්මක බලපැම් සිදු වන බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, නේවාසිකාගාරවල අත්‍යවශ්‍ය පහසුකම් නවීකරණය කර සිසුන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා ගුණාත්මක පරිසරයක් සැලසීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 1,008ක ඇස්තමේන්තු මුළු පිරිවැය යටතේ පාසල් නේවාසිකාගාර පහසුකම් නවිකරණය කිරීමේ ව්‍යාපෘතියක් 2026-2028 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

බදුල්ල -  හාලිඇළ මාර්ගයේ කොටසක් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම

බදුල්ලචෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) ඒකාබද්ධව අරමුදල් සපයනු ලබයි. ඒ යටතේ සෞදි සංවර්ධන අරමුදලේ ණය මුදල් මඟින් ක්‍රියාත්මක අම්පාර-උහන-මහඔය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක ණය ඉතිරියක් අපේක්ෂා කරනු ලබයි. එම ඉතිරි ණය මුදල භාවිත කරමින්, වසර 15කට වැඩි කාලයක් භාවිත කරනු ලැබ ඇති සහ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ කිලෝමීටර 1.5ක පමණ මාර්ග කොටසක් (කිලෝමීටර 119+620 සිට කිලෝමීටර 121+200 දක්වා) ප්‍රතිසංස්කරණය කිරීම ද ඇතුළුව, පේරාදෙණිය-බදුල්ල-චෙන්කලාඩි මාර්ගයේ (A05) බදුල්ල-හාලිඇළ මාර්ගයේ කිලෝමීටර 06ක කොටසක් (කිලෝමීටර 115 සිට කිලෝමීටර 121 දක්වා) රුපියල් මිලියන 600ක ඇස්තමේන්තු පිරිවැයක් යටතේ පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ අදියර III ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නිසා බලපෑමට ලක් වන අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ අදියර III ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් අවතැන් වන අනවසර පවුල් සඳහා නිවාස ලබා දීම පිණිස තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව, අවතැන් පවුල් ඒකක 29ක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක 'සරසවි උයන' නිවාස යෝජනා ක්‍රමයෙන් මේ වන විට නිවාස ලබා දී තිබේ. අහිමි වන නිවසේ වර්ග ප්‍රමාණය ලබා දීමට නියමිත නිවසේ වර්ග ප්‍රමාණයට වඩා වැඩි වීම, ඉඩම් අත් කර ගන්නා අවස්ථාවේ එකම ගෘහය තුළ අනු පවුල් කිහිපයක් ජීවත් වීම, විශේෂ අවශ්‍යතා සහිත අවිවාහක අය සිටීම වැනි පරීක්ෂණවලදී ඉදිරිපත් වූ විශේෂ තත්ත්වයන් හා කරුණු සලකා බලා එම පවුල් ඒකක 29ට අමතරව අවතැන් වන තවත් පදිංචිකරුවන් 08 දෙනෙකු වෙත නිවාස ලබා දීම එකී කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර අවදානමට ලක් වන පවුල් පුනස්ථාපනය කිරීම සඳහා සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ භූගත තෙල් නළ මාර්ගය මත පදිංචි අනවසර පවුල් පුනස්ථාපනය කිරීම සඳහා නිවාස වෙන් කර දීම

කොළොන්නාව ප්‍රදේශයේ නිරන්තරයෙන් ගංවතුර අවදානමට ලක් වන පවුල් 336ක් සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ භූගත තෙල් නළ මාර්ගය මත අනවසරයෙන් පදිංචි පවුල් 72ක් සඳහා නිවාස ලබා දී ඔවුන් දැනට පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා පිටත වටරවුම් මාර්ගය ද සම්බන්ධ කරමින් කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉවත් කිරීමට සිදු වන පදිංචිකරුවන් වෙත ලබා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කොළොන්නාව 'සංහිඳ සෙවන', හේනමුල්ල 'හෙළමුතු සෙවන' හා මාළිගාවත්ත 'ලක්හිරු සෙවන' යන නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ඒකක 1,100ක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මිල දී ගනු ලැබ තිබේ. එහෙත්, කණු මතින් දිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ II අදියරට අදාළව අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති වාරණ නියෝගයක් හේතුවෙන් ව්‍යාපෘතිය අත්හිටුවා තිබේ. එබැවින්, එම ව්‍යාපෘතිය සඳහා මිල දී ගෙන ඇති කොළොන්නාව 'සංහිඳ සෙවන' නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 336ක් කොළොන්නාව ප්‍රදේශයේ නිරන්තරයෙන් ගංවතුර අවදානමට ලක් වන පවුල් පුනස්ථාපනය කිරීම සඳහා සහ හේනමුල්ල 'හෙළමුතු සෙවන' නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 72ක් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් භූගත තෙල් නළ මාර්ගය මත පදිංචි පවුල් පුනස්ථාපනය කිරීම සඳහා යොදා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මීගමුව නගර සභා බලප්‍රදේශයේ රජයට අයත් ඉඩමක පිහිටි වසර 50ක් පමණ පැරණි ගොඩනැගිලි 02ක දැනට පවත්වා ගෙන යනු ලබයි. එම කාර්යාලයේ නිලධාරින් 127දෙනෙකු සේවය කරමින් සිටින අතර, සේවා ලබා ගැනීම සඳහා 1,500කට අධික පිරිසක් එම කාර්යාලය වෙත දෛනිකව පැමිණේ. එහෙත්, නිලධාරින්හට රාජකාරි කටයුතු සිදු කිරීමට සහ කාර්යාල උපකරණ හා බඩුබාහිරාදිය ස්ථානගත කිරීමට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි තුළ ප්‍රමාණවත් ඉඩකඩ නොමැත. එමෙන්ම, අදාළ ගොඩනැගිලිවල පිපිරීම්, ගිලා බැසීම්, ජල කාන්දු වීම් සහ ඉරිතැලීම් ආදී සංකුලතා මතුවීම හේතුවෙන් ඉතා අපහසුතාවකින් හා අනාරක්ෂිත බවකින් යුතුව සේවයේ යෙදීමට අදාළ කාර්යමණ්ඩලයට සිදුව ඇත. එබැවින්, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට මීගමුව ප්‍රාදේශීය ලේකම් නිල නිවාසය පිහිටි උඩයාර්තොප්පුව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ අක්කරයකට ආසන්න ඉඩමේ ස්ථාපිත කිරීම යෝග්‍ය බවට හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, එකී ඉඩමේ රුපියල් මිලියන 398.60ක ඇස්තමේන්තු පිරිවැයක් යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා මහල් හතරකින් සමන්විත නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 

'දිට්වා' ආපදාවෙන් බලපෑමට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහන

'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බව වාර්තා වී ඇත. 2026-04-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි වෙන් කරන ලද රුපියල් මිලියන 200ක් ඇතුළුව බුද්ධශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල හා අනගාරික ධර්මපාල පදනම විසින් යොදවන ලද රුපියල් මිලියන 800ක අරමුදල් භාවිත කරමින් මේ වන විට එම පූජනීය ස්ථාන අතරින් පූජනීය ස්ථාන 178ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගනු ලැබ ති‌බේ. ඉතිරි පූජනීය ස්ථාන අතරින් තවත් පූජනීය ස්ථාන 90ක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති අංක 01/2026 දරන චක්‍රලේඛ විධිවිධානවලට යටත්ව, රුපියල් මිලියන 129.69ක ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තඹුත්තේගම-රාජාංගනය මාර්ගයේ පිහිටි අංගමුව පිටවාන (ගිනිපෙට්ටි පාලම) හරහා නව දිය මං ආකාරයේ පාලමක් ඉදි කිරීම

තඹුත්තේගම-රාජාංගනය මාර්ගයේ පිහිටි අංගමුව පිටවාන හරහා දැනට පවතින පාලම (ගිනිපෙට්ටි පාලම) අනුරාධපුරපාදෙණිය මාර්ගය සහ අනුරාධපුරපුත්තලම මාර්ගය සම්බන්ධ කරන, තඹුත්තේගමරාජාංගනය මාර්ගයේ පිහිටා ඇති දිය මං පාලමක් වේ. දැනට පවතින පාලමේ පථය සාපේක්ෂව පහත් බිම් ප්‍රදේශයක පිහිටා ඇති අතර, වැසි කාලයේ දී ගං වතුරෙහි බලපෑමට ලක් වීම හේතුවෙන් එම මාර්ගය භාවිත කිරීමට බාධා ඇති වේ. එමෙන්ම, එකී දිය මගෙහි ධාරිතාව අනාගත වාරිමාර්ග ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවන බව ද හඳුනා ගනු ලැබ ඇත. එබැවින්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන භාවිත කරමින් අංගමුව පිටවාන හරහා දැනට පවතින පාලම වෙනුවට වැඩි ධාරිතාවකින් යුත් නව දිය මං ආකාරයේ පාලමක් එම ස්ථානයේම ඉදි කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 241.45ක ඇස්තමේන්තු පිරිවැයක් යටතේ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා; සහ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනතේ විධිවිධාන යටතේ සාදන ලද ආදායම් සංරක්ෂණ ආඥාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

- මෙරට අපනයන ආදායම ඉලක්කගත අයුරින් වර්ධනය කර ගැනීම සඳහා කාණ්ඩ 03ක් ලෙස ක්‍රියාත්මකව පැවති රේගු ආනයන බදු අනුප්‍රමාණයන් 0%, 10%, 20% සහ 30%ක් ලෙස කාණ්ඩ 04ක් යටතේ ක්‍රියාත්මක කිරීමටත්, ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, දේශීය කෘෂි හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා නව ජාතික උපබෙදුම් රේගු සංකේතාංක ක්‍රියාත්මක කිරීමටත් 2026-02-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා වන විධිවිධාන පනවමින් 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ආදායම් සංරක්ෂණ ආඥාව - අංක 01/2026, 2026-03-03 දිනැති අංක 2478/03 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එකී ආදායම් සංරක්ෂණ ආඥාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 


ප්‍රතිපත්ති පාදක ණය පහසුකම් - 2026 යටතේ ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලබන ණය මුදල ඉහළ නැංවීම

ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය මඟින් 2026 වර්ෂය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 380ක් ලබා ගැනීම සඳහා 2026-03-16 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ. එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන - උප වැඩසටහන 1 සඳහා වෙන් කර ඇත. කෙසේ වුවද, වත්මන් මැදපෙරදිග අර්බුදය සහ දේශගුණික කම්පන හේතුවෙන් පැන නඟින ආර්ථික අවිනිශ්චිතතාව හමුවේ එකී උපවැඩසටහන යටතේ වන ණය මුදල, ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අතිරේක මූල්‍යකරණ පැකේජයක් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් දක්වා වැඩි කිරීම මඟින් සහාය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීමට අදාළ ඉදිරි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය සහාය මත 'පශ්චාත් දිට්වා සුළිකුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් මහාමාර්ග, දුම්රිය මාර්ග සහ වාරිමාර්ග පද්ධති වැනි ජාතික යටිතල පහසුකම්වලට මෙන්ම ජීවනෝපායන්, කෘෂිකාර්මික කටයුතු සහ නිවාසවලට දැඩි හානි සිදු විය. මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබ ඇති පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරුවට අනුව, එම ව්‍යසනය හේතුවෙන් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක හානි මෙන්ම, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක ආර්ථික පාඩු සිදු වී ඇති අතර, ප්‍රතිසාධන අවශ්‍යතාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් බවට ඇස්තමේන්තුගත කරනු ලැබ තිබේ. ඒ අනුව, හදිසි ප්‍රතිසාධන අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් සහ ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව විසින් 'පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණය සහ ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය' නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා දීමට එකඟතාව පළ කර ඇත. සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීම, සුළි කුණාටුවෙන් හානි වූ වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ජීවනෝපායන් ප්‍රතිස්ථාපනය කිරීම හා නිවාස ආධාර යන ප්‍රධාන සංරචක තුනකින් සමන්විතව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් සහ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් යෝජිත ව්‍යාපෘතිය සඳහා ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 51 වන වගන්තියෙහි විධිවිධාන අනුව, එක් එක් මුදල් වර්ෂය සඳහා අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මහජනතාව වෙත නිකුත් කරනු ලැබිය යුතු අතර, එම වාර්තාව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරනු ලැබිය යුතු වේ. එසේම, එකී වාර්තාව පාර්ලිමේන්තුව වෙත ද ඉදිරිපත් කළ යුතු වේ. අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025 මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කර ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ක්‍රමෝපායන් හා අභියෝග, 2025 වසරේ ආර්ථික ප්‍රවණතා, ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන සාර්ව ආර්ථික හා සමාජආර්ථික දර්ශකයන් සහ ගෝලීය ආර්ථික වර්ධනයන් පිළිබඳව විග්‍රහයක් එකී වාර්තාවේ අන්තර්ගත වේ. එමෙන්ම, රජයේ ආදායම හා වියදම, මූල්‍ය ප්‍රවාහ කළමනාකරණය, අයවැය හිඟය මූල්‍යනය කිරීම සහ ණය ව්‍යුහය ඇතුළත් සවිස්තරාත්මක විග්‍රහයක් ද එහි ඇතුළත් කරනු ලැබ ඇත. ඒ අනුව, අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025 පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.