දිට්වා තත්ත්වයේ දී News1st හී මැදිහත් වීම

දේශගුණික විපර්යාස, ආපදා වැළැක්වීම සහ මාධ්‍යයට වගකීම් සහගතව AI භාවිතා කිරීම ගැන ලෝකයේ මාධ්‍ය ප්‍රමුඛයන් කතා කරන වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කළ Newsfirst!

by Staff writer 16-06-2026 | 10:47 PM

COLOMBO(News1st) -  10 වැනි ආසියානු පැසිෆික් විකාශන සංගමයේ මාධ්‍ය සමුළුව සහ AI සංසදය අද(16) භූතානයේ පාරෝ නුවරදී ආරම්භ විය.


මෙවර මෙම සමුළුවේදී දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම, ආපදා වැළැක්වීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධිය වගකීම් සහගතව භාවිත කිරීම පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡා කිරීම විශේෂත්වයකි.


දින තුනක් පුරා පැවැත්වෙන මෙම සුවිශේෂී සමුළුව සඳහා ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණික විශේෂඥයින් රැසක් එක්ව සිටී.

සමුළුවේ සමාරම්භක සැසියේදී පිළිගැනීමේ කතාව සිදුකලේ සත්කාරක විකාශකයා වන භූතාන විකාශන සේවයේ  ප්‍රධාන විධායක නිලධාරී ඩෝර්ජි ටෂි විසිනි.

අනතුරුව, ආසියා-පැසිෆික් විකාශන සංගමයේ මහලේකම් අහමඩ් නදීම් සහ භූතාන රාජකීය රජයේ කර්මාන්ත, වාණිජ හා රැකීරක්ෂා අමාත්‍යාංශයේ ලේකම් දාෂෝ ටෂි වැන්ග්මෝ  විශේෂ දේශන පවත්වමින් සමුළුව ඇමතුවේය.

මෙවර සමුළුවේ අතිශය තීරණාත්මක විද්වත් සාකච්ඡාවක් වූ ආසියා පැසිෆික් කලාපයෙන් උගත් පාඩම් මගින් මාධ්‍ය මගින් ජීවිත සුරැකීම පිළිබඳව පැවැති සැසියට ශ්‍රී ලංකාව සහ මහරාජා මාධ්‍ය ජාලය  නියෝජනය කරමින් Newsfirst නව මාධ්‍ය අධ්‍යක්ෂ ජනිත මෙන්ඩිස් විශේෂ ආරාධිත කථිකයෙකු ලෙස එක්වීම විශේෂත්වයක්.

එහිදී අදහස් දැක්වූ ජනිත මෙන්ඩිස්, Newsfirst ආයතනය සතු ඩිජිටල් තාක්ෂණය මුල්කරගත් ප්‍රවෘත්ති කාමරය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රධානීන් හමුවේ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

විශේෂයෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ දැඩි අර්බුදකාරී සහ ආපදා අවස්ථාවේදී සාම්ප්‍රදායික රූපවාහිනී මාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් එකිනෙක ඒකාබද්ධ කරමින්, Newsfirst කණ්ඩායම එම තත්ත්වය සාර්ථකව කළමනාකරණය කර මහජන ජීවිත සුරක්ෂිත කිරීමට දායක වූ ආකාරය පිළිබඳව ඔහු කරුණු පැහැදිලි කළේ මෙලෙසින්.


ජනිත මෙන්ඩිස් - අධ්‍යක්ෂ ( නව මාධ්‍ය )
Newsfirst

ඒ වෙලාවේ අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා, මොකද විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිටලා තිබුණේ.
ඒ නිසා ඒ වෙලාවේ වැදගත්ම දේ වුණේ SMS පණිවිඩ සේවාවයි. මොකද ඒ වෙලාවේ ඩේටා වැඩ කළෙත් නැහැ.
හැබැයි SMS Alert එකෙන් පොඩි පණිවිඩයකින් ලොකු සේවාවක් වුණා. මිනිස්සුන්ට තොරතුරු ලැබුණු නිසා ඔවුන් ඒ ප්‍රදේශවලින් ඉවත් වුණා.
ඉතින් ආපදා වෙලාවකදී SMS Alert කියන දේ තාමත් ගොඩක් වැදගත්. අපි හිතන්නේ දැන් අපි ඩිජිටල් යුගයක ඉන්නේ, ඒ නිසා ඕවා දැන් ඉවරයි කියලා, හැබැයි මේ වගේ වෙලාවක ඒක ගොඩක් වටිනවා. මුළු දිවයිනේම සන්නිවේදනය බිඳ වැටිලා තිබුණු නිසා අපිටත් Communication නැති වුණා. පස්සේ අපි TV එකෙන් දිගටම සජිවීව විකාශය කරන්න පටන් ගත්තා. අපි කළේ screen එකේ WhatsApp නම්බර් එකක් දාලා, මිනිස්සුන්ට කිව්වා ඒ අයට ලැබෙන වීඩියෝ අපිට එවන්න කියලා. ඒ වෙලාවේ එක ප්‍රදේශයකින්. ඒ කියන්නේ අරණායක පැත්තෙන්. කෙනෙක් මට කෙලින්ම කතා කරලා ඩ්‍රෝන් එකකින් ගත්ත වටිනා වීඩියෝ වගයක් එව්වා. ඒකේ කඳු හයක් නාය ගිහින් තියෙනවා පෙනුණා. ඒ වෙනකොට කිසිම බලධාරියෙක් මේ සිද්ධිය ගැන දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ තමයි අපි අරණායක ගැන විශේෂ Braking News එකක් දැම්මේ. අන්න ඒ News එක දැක්කාට පස්සේ තමයි බලධාරීන් පවා සහන සේවා කටයුතුවලට එතැනට ගියේ.


සාම්ප්‍රදායික විකාශකයෙකුගෙන් ඔබ්බට යමින් ආපදා කළමනාකරණයේදී සහ සහන සේවා සැපයීමේදී Newsfirst සතු ප්‍රායෝගික ක්‍රමවේදයන් මෙහිදී ජාත්‍යන්තරයේ ඉහළ ඇගයීමට ලක් වුණා.

මෙම සමුළුවේ ඉදිරි දින 3දී පුවත්පත් කලාව, දත්ත විශ්ලේෂණය, ආපදා පූර්ව අනතුරු ඇඟවීම් සහ දේශගුණික විපර්යාස පිළිබඳ අසත්‍ය තොරතුරු වැළැක්වීම සඳහා කෘත්‍රිම බුද්ධිය සක්‍රීයව සහ වගකීම් සහගතව උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.