අඟුරුවාතොට ගින්නේ ස්ථානීය පරීක්ෂණ අද...

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්න සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ අද...

by Staff writer 04-06-2026 | 7:22 AM

COLOMBO (News 1st) - අඟුරුවාතොට බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්න සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ අද (04) උදෑසන පැවැත්වේ.

පොලීසිය සඳහන් කළේ, රජයේ රස පරීක්ෂකවරයා සහ හොරණ මහේස්ත්‍රාත්වරයා ඊට සහභාගී වන බවයි.

ඊයේ (03) සවස අඟුරුවාතොට බටගොඩ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නට හසුවූ 51 දෙනෙකු එම අවස්ථාවේදී බේරාගනු ලැබූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් සඳහන් කළේ එම ස්ථානයේ මළ සිරුරු 09 ක් නිරීක්ෂණය වූ බවයි.

රෝහල් ආරංචිමාර්ග පැවසුවේ, ගින්නට හසුවී හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 8 දෙනාගෙන් එක් අයෙකු අද අළුයම මියගොස් ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ වැඩිහිටි නිවාසයේ 71 දෙනෙකු සිට ඇති අතර ඉන් මුදාගත් පිරිස බටගොඩ විද්‍යාලයේ තාවකාලිකව රඳවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

ඔවුන් අද වෙනත් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට නියමිතයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.