.webp)

COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ, දිවයින හරහා සුළං වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර, දිවයින වටා වන වෙරළ ආසන්න මුහුදු කලාපය රළු හෝ ඉතා රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරත වීම අතිශය අවදානම් සහගත බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විශේෂයෙන් මුලතිව් සිට කන්තකසන්තුරය, මන්තනාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
