මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?

අපේ සල්ලි වනසපු බැඳුම්කර වංචාව මතකද? රට බංකොලොත් වුණු හේතු මෙන්න..

by Nadeeshan Meedin 02-06-2026 | 9:28 PM

COLOMBO(News1st) - ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ01) දුන් නියෝගයට අනුව 2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ පොදු දේපල පනත යටතේ වන නඩු විභාගය නැවත ආරම්භ කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් අලුතෙන් පත්කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

අලුත් ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් පත්කිරීමට නියමිත අතර මෙම නඩුව ඉන් එක් අධිකරණයක් හමුවේ විභාගයට ගැනෙනු ඇති.

ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග වෙමින් තිබූ මෙම නඩුව 2021 වසරේ අත්හිටුවීමට සිදුවූයේ විත්තියෙන් ඉදිපත් වූ විරෝධතා සැලකිල්ලට ගනිමිනි.

මෙම ගනුදෙනුවලට මැදිහත්වූ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමක් බැවින් පොදු දේපල පනතින් සමාගමකට එරෙහිව නඩු පැවරිය නොහැකි බවට මූලික විරෝධයක් මතු කෙරුණි.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ සම්බන්ධව නීතිපතිවරයා ගොනුකළ අභියාචනයක් සලකා බැලීමෙන් පසුව ඊයේ(01) නියෝග කළේ, පොදු දේපල පනතින් සමාගමට එරෙහිව නඩු පවරා පවත්වාගෙන ගිය හැකි බවයි.

මොනවද මේ බැඳුම්කර වංචා? මේ වංචාවලින් රටේ ජනතාවට සිදුවූයේ කුමක්ද?

රජයේ වියදම් සඳහා කෙටිකාලීන හා දිගුකාලීන මුදල් වුවමනාවන් සැලකිල්ලට අරන් ණය ගන්න සිදුවෙනවා.

භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ දිගු කාලීනව රජයට ණය ගන්න තියෙන ක්‍රමවේදයක්.

මූලික ණය මුදලට පොළියක් එකතු කරලා ප්‍රතිලාභය දෙනවා කියලා සහතිකය දෙන්නේ රජය.

රජයේ මුදල් අවශ්‍යතාවය අනුව බැඳුම්කර නිකුත් කිරීම සිදුකරන වගකීම තියෙන්නෙ මහ බැංකුවට.

මහ බැංකුවෙන් කෙලින්ම බැඳුම්කර මිලදී ගන්න පුළුවන්, ඒ සඳහා විශේෂ අවසරයක් තියෙන ලියාපදිංචි වෙලා ඉන්න ප්‍රාථමික ගැනුම් කරුවන්ට.

මේ ප්‍රාථමික ගැනුම් කරුවන්ගෙන් ඕනෑම කෙනෙකුට ද්විතීයික වෙළෙඳපොලේදී භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගත හැකීයි.

මොනවද මේ බැඳුම්කර වංචා කියන්නේ?

බැඳුම්කර වංචා ගැන වැඩියෙන් කතා කරන්න පටන්ගත්තේ 2015 ඉදලා.

රජයේ මුදල් වුවමනාවන්ට අනුව 2015 සිට 2017 වෙනකල් අවස්ථා තුනකදී සිදු වුණ බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් මේ වෙනකොට බරපතල චෝදනා එල්ලවෙලා තියෙනවා.

අපි එකින් එක බලමු.

2015 මොකද වුණේ?

අවුරුදු 10 ක මහින්ද රාජපක්ෂ පාලනය ජනතාවට ප්‍රතිලාභ ලැබිය යුතු මුදල් දූෂිත ගනුදෙනු වලින් විනාශ කරමින් කිහිප දෙනෙකුට ප්‍රතිලාභ අත්කරදෙන බවට නැගුන චෝදනා හමුවේ අලුත් දේශාපාලන බලවේගයක් 2015 ජනතාව පත්කර ගත්තා.

ඒ වෙනකොට විපක්ෂයේ හිටිය අය එකතුවෙලා ආණ්ඩු පක්ෂයේ හිටිය ප්‍රධාන පක්ෂය වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා එළියට අරන් මේ දේශපාලන බලවේගය හැදුවේ යහපාලනය කියලා.

යහපාලන ආණ්ඩුව බලයට එන්නේ 2015 ජනාවාරි 8 වෙනිදා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවෙද්දි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වුණා.

සිංග්ප්පූරු පුරවැසියක් වුන අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා විදිහට පත්කළේ යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ වැඩි දෙනා විරුද්ධ වෙද්දි.

යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් හරියටම ගතවුණේ දවස් 50 යි.

පළවෙනි බැඳුම්කර වංචාව සිදුවුණා.

මොකක්ද මේ පළමුවන බැඳුම්කර වංචාව?

රාජපක්ෂ ආණ්ඩුව කාළේ මාර්ග සංවර්ධනය කරපු කොන්ත්‍රාත් සමාගම්වලට මුදල් ගෙවන්න වුවමනා බව කියලා බැඳුම්කර නිකුතුවකින් සල්ලි හොයාගන්න තීරණයක් අරන් තිබුණා.

තීරණය ගන්නේ උදෑසන තේ බොන ගමන් තිබුණ සාකච්ඡාවකදී.

රනිල් වික්‍රමසිංහ එක්ක තේ බොන ගමන් කරපු මේ සාකච්ඡාවට ඇමතිවරු කිහිප දෙනෙක්, ඒ කාළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා සහ මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහභාගිවුණා.

මෙතනදි කතාකරලා තිබුණේ කොන්ත්‍රාත් සමාගම්වලට ගෙවන්න රුපියල් බිලියන 15ක් වුවමනා බවයි.

උදෑසන තේ බොන ගමන් කරපු මේ සාකච්ඡාවට පස්සේ දවසේ හරියටම 2015 පෙබරවාරි 27 වෙනිදා බැඳුම්කර නිකුතුවක් සිදු කළා.

රුපියල් බිලියනක ණය ලබා ගැනීමට වුවමනා බව කියලා ප්‍රාථමික ගැනුම්කරුවන්ට දැනුම්දීලා, බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කළා.

ඒ වෙනකොට බැඳුම්කර නිකුත් කිරීම සිදුකළේ වෙන්දේසි ක්‍රමයට.

ප්‍රාථමික ගැනුම්කරුවෝ ඔවුන්ට මිලදී ගන්න පුළුවන් බැඳුම්කර ප්‍රමාණය සහ පොලී අනුපාතය ඉදිරිපත් කරලා තරග කාරී ඉල්ලීම් සලකලා අවශ්‍ය මුදල ලබා ගැනීම මෙතනදි සිදුවෙනවා.

වෙන්දේසිය යද්දි මහ බැංකු අධිපතිවරයා විදිහට අර්ජුන මහේන්ද්‍රන් මේ වෙන්දේසිය කරන තැනට එනවා.

ඒ වෙනකොට ඉදිරිපත්වෙලා තිබුණ ලංසු ඔහු බලනවා.

කලින් හිටපු කිසිම මහ බැංකු අධිපතිවරයෙක් වෙන්දේසියක් යද්දි මෙහෙම ඇවිත් ක්‍රියා කරල නැහැ.

ලංසු ලේඛනය අතට අරන් අර්ජුන මහේන්ද්‍රන් වෙන්දේසිය නවත්තන්න ඕනේ අගය ගැන උපදෙස් ලබා දෙනවා.

මහේන්ද්‍රන්ගේ උපදෙස් අනුව රුපියල් බිලියන 10ක බැඳුම්කර නිකුතුවක් සඳහා ලංසු පිලිගන්න වෙන්දේසියේ හිටිය අයට සිදුවෙනවා.

රුපියල් බිලියනයක් වුවමනා බව කියල බිලියන 10ක විශාල මුදලක ලංසු පිලිගැනීම අසාමාන්‍ය තත්ත්වයක්.

පස්සෙ කරපු විමර්ශනවලදී හෙලිවුණේ මේ බිලියන 10 ඇතුලේ වැඩිම මුදලක් ලංසු ඉදිරිපත් කරලා තිබුණේ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් කියන සමාගම.

අනෙකුත් ප්‍රාථමික ගැනුම්කරුවන්ට වැඩි පොලියකට ඔවුන් මේ ලංසු ඉදිරිපත් කරලා තිබුණා.

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් කියන්නේ ඒ වෙනකොට මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා අර්ජුන් ඇලෝසියස්ට අයිති ප්‍රාථමික ගැනුම්කාර සමාගම.

අර්ජුන මහේන්ද්‍රන් වෙන්දේසියේ අභ්‍යන්තර තොරතුරු බෑනට දීලා වෙන්දේසිය හසුරුවලා තියෙනවා කියල චෝදනා එල්ල වුණා.

මේක Conflict of interest ඒ කියන්නෙ ලැදියාවන් අතර ගැටුමක්.

මාමා, බෑනට වාසි වෙන්න වැඩ කරලා.

ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව, විගනකාධිපති වාර්තාව, කෝප් කමිටු වාර්තා දෙක, අපරාධ පරීක්ෂණ විමර්ශන මේ දේවල් වලින් තවත් අපූරු තොරතුරු හෙලි වුණා.

පෙබරවාරි 27 බැඳුම්කර නිකුත් කරන්න ඕනේ වෙන්දේසි ක්‍රමයට කියලා අර්ජුන මහේන්ද්‍රන්ට උපදෙස්දීල තිබුනේ රනිල් වික්‍රමසිංහ.

ඒ උපදෙසත් අරන් වෙන්දේසියට ආව මහේන්ද්‍රන් තමයි තීරණය කරන්නේ ලංසු ගන්න ප්‍රමාණය.

වැඩිම ලංසු ප්‍රමාණයක් වැඩි පොලියකට බෑනගේ සමාගමට ගියා.

තවත් බරපතල කරුණු හෙළිවුණා.

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් වෙනුවෙන් තවත් ප්‍රාථමික ගැනුම්කාර සමාගම් සහ රාජ්‍ය බැංකුවක් ලංසු තියලා තිබුණා.

මේ අය අඩු පොලියට ඔවුන් වෙනුවෙන් ලංසු තියලා වැඩි පොලියට පර්පෙචුවෙල් සමාගම වෙනුවෙන් ලංසු තිබ්බ බව දැන් හෙළිවෙලා තියෙනවා.

ඊළඟට මොකද වුණේ?

දැන් ප්‍රාථමික වෙළෙඳපොලේ වැඩි පොලියට පර්පෙචුවෙල් සමාගම ගත්ත බැඳුම්කර මේ සමාගම ද්විතීයක වෙළෙඳපොලේදී සේවක අර්ථ සාධක අරමුදලට විකුණනවා.

සේවක අර්ථ සාධක අරමුදල කියන්නේ පෞද්ගලික අංශයේ වැඩකරන සේවකයින්ගේ මාසේ පඩියෙන් කපලා යවන මුදලින් හැදුන අරමුදලක්.

ඒ අයට විශ්‍රාම කාළේ ජීවත්වෙන්න තියෙන්නේ මේ අරමුදලෙන්.

සේවක අර්ථ සාධක අරමුදල කියන්නේ ප්‍රාථමික ගැනුම් කරුවෙක්.

ඇලෝසියස්ගෙන් ගන්න දෙයක් නැහැ....

කෙලින්ම මහ බැංකුවේ වෙන්දේසියෙන් සේවක අර්ථ සාධක අරමුදලට බැඳුම්කර අරගෙන අරමුදලට ලොකු වාසියක් අත්කරගන්න තිබුණා.

හැබැයි අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවෙල් සමාගමට වාසි වෙන්න ගත්ත මේ බැඳුම්කර තොගය නිසා සේවක අර්ථ සාධක අරමුදලට එක් මොහොතක සිදු වුණ පාඩුව රුපියල් බිලියන 8ක්.

මේක දවසින් දවස වැඩි වෙනවා.

ඒ විතරක් නෙමෙයි ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා මේ බැඳුම්කර තොගයට ලැබෙන්න තිබුණ ප්‍රතිලාභය තවත් අඩු වුණා.

එක පිට එක සේවක අර්ථ සාධක අරමුදලට මේ ගනුදෙනුවෙන් සිදුකළේ බරපතල පාඩුවක්.

අවුරුදු ගානක් රස්සාව කරලා විශ්‍රාම ජීවිතය පහසුවෙන් ගතකරන්න තියෙන අරමුදලට තමයි මේ අපරාදය සිදුකළේ,

2015 පෙබරවාරි 27 බැඳුම්කර වංචාවෙන් සිදු වුණ පාඩුව තව ඕන තරම් තියෙනවා.

එක මොහොතක වෙළඳපොලේ අනුපාතය පවා 3% කින් විතර වැඩි වුණා මේ ගනුදෙනුව නිසා.

මතක තියා ගන්න මේ කරපු අපරාධයේ ප්‍රතිවිපාක රටේම ජනතාව 2048 වෙනකල් ගෙවන්න වෙනවා.

මොකද මේ බැඳුම්කර කල් පිරෙන්නේ 2048 දී.

2016 මොකද වුණේ?

2015 බැඳුම්කර වංචාව ගැන රටේම අවදානය යොමුවෙලා තියෙද්දි නැවත නැවතත් ඒ වගේම ගනුදෙනු සිදුවුණා.

2016 මාර්තු 29 සහ 31 ඒ වගේම තවත් ගනුදෙනු දෙකක් සිදුවෙලා තිබුණා.

ඒ වෙනකොට මුදල් ඇමති රවී කරුණානායක වෙන්දේසියට කලින් දවස් දෙකේම රාජ්‍ය බැංකුවල ඉහළම නිලධාරීන් කැඳවලා තිබුණා.

ඒ අය කැඳවලා උපදෙස් දුන්නේ පොලී අනුපාතය පාලනය කරගන්න ඕනේ නිසා බැඳුම්කර වෙන්දේසියේදී අඩු පොලියට ලංසු ඉදිරිපත් කරන්න කියලා.

මාර්තු 29, 31 වෙන්දේසියේදී කලින් වගේම පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට වාසිදායක ලෙස බැඳුම්කර ගනුදෙනු සිදුවුණා.

ප්‍රාථමික ගැනුම්කාර රාජ්‍ය බැංකු ඒ වෙලාවෙ කිව්වේ ඇමතිවරයාගේ උපදෙස්වලට වැඩකරලා තමන්ට පාඩු විදින්න සිදුවුණා කියලා

මේ බැඳුම්කර ගනුදෙනු දෙකේ පාඩුව තවමත් හරියට ගණන් බලල නැහැ...

දැන් මොකද වෙලා තියෙන්නේ?

මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් රටින් පැන්නා.

ඔහුගේ මිත්‍රයා රනිල් වික්‍රමසිංහ කිව්වේ මංගල උත්සවයකට ගියා ඉක්මනින් එයි කියල.

තවමත් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නල නැහැ.

ඩිව්. ගුණසේකර සභාපතිවරයා විදිහට හදපු කෝප් කමිටුවේ වාර්තාව එළි දක්වන්න කලින් දවසේ පාර්ලිමේන්තුව වාරාවසාන කරලා වාර්තාවේ නීත්‍යානුකූල වලංගුභාවය නැති කළා.

දෙවනවරට සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයා කාළේ හදපු කෝප් කමිටු වාර්තාවට ඒ කාළේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාද සටහන් දාල ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කලා.

ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව සහ ඇමුණුම් බලන්න වෙන්නේ 2048 දී.

මොකද ඒක අවුරුදු 30 කට ලේඛනාගාරයේ රහසිගතව තැන්පත්කරලා තියෙන්නෙ.

රනිල් වික්‍රමසිංහ පක්ෂයේ තුන්දෙනෙක් දාලා වාර්තාවක් හැදුවා.

ඒකෙන් නම් අර්ජුන මහේන්ද්‍රන් නිදහස් කරලා තියෙනවා.

බැඳුම්කර වෙන්දේසියේදී කිසිම වැරැද්දක් වුනේ නෑ කියලත් ඒ වාර්තාවල තියෙනවා.

මෛත්‍රීපාල සිරිසේන එක වෙලාවක හෙළිකළා අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වාගන්න ඔහු ජනාධිපති කාළේ ලේඛනවලට අත්සන් 21,000ක් දැම්මා කියලා.

කොහොම වුණත් අපරාධ පරීක්ෂණයක් සහ අධිකරණ ක්‍රියාවලියක් තවමත් සිදුවෙමින් තියෙනවා.

ජනතාව තවමත් විශ්වාසයෙන් බලාගෙන ඉන්නේ ඒ ක්‍රියාවලිය දිහා.

මොකද අපි හැමෝම තවමත් මේ වංචාවලට ගෙවමින් ඉන්නේ.

රට අන්තිමට බංකොලොත්වෙන්නේ, අපි තෙල් ලීටරයට, විදුලිය ඒකකයට, අපේ ගේ හදාගන්න ගත්ත ණයවලට මේ හැම එකකම මේ අපරාධවල වන්දි කොටසක් තියෙනවා.

අපි ගෙවන්නේ ඒ කොටසත් එක්ක.