වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

උතුම් සම්බුදු තෙමගුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

by Staff writer 30-05-2026 | 8:45 AM

COLOMBO(News1st) - උතුම් සම්බුදුතෙමගුල සිහිකෙරෙන වෙසක්පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

මෙවර සැමරෙන්නේ 2570 වන වෙසක් මංගල්‍යයයි.

ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑම යන ත්‍රිවිධ මංගල කරුණු සිහිකරමින් ලක්වාසී බෞද්ධ ජනතාව අද දිනය පුරා විවිධ පිංකම්වල නිරත වෙයි.

ඒ, ප්‍රතිපත්ති  පූජාවන්ට මුල්තැන දෙමින්.

වෙසක් පොහොය සැමරීම සදහා දිවයිනපුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.

වෙසක් තොරණ, දන්සැල්, වෙසක් කලාප, සැදැහැ ගී ප්‍රසංග මෙන්ම බුදු රාජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව අද දවසේ විවිධ පිංකම් සංවිධානය කර තිබේ.

මේ අතර සිරසා නමාමි වෙසක් කලාපය රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද  සහ හෙට පැවැත්වේ.

ඒ, සතිමත්ව නිවෙමු යන තේමාවෙන්.

දාන ශීල වැඩසටහන්, ධර්ම දේශනා, දන්සැල්, තොරණ, පහන් කූඩු, සැදැහැ ගී ඇතුලු වැඩසටහන් රැසකින්, සිරසා නමාමි වෙසක් කලාපය සමන්විත වේ.

සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට ද, එහිදී සැදැහැවතුන්ට අවස්ථාව උදාවේ.

මේ අතර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන්, කොළඹ හා තදාසන්න නගරවල තොරණ  25ක් ඉදිකර තිබේ.

සියලු වෙසක් කලාප ආශ්‍රීතව විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව, රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර සඳහන් කළේ ය.