විද්‍යා ඝාතනයේ විත්තිකරුවෙක් සියදිවි හානි කරගනියි.

විද්‍යා දැරියගේ ඝාතනයේ දෙවැනි විත්තිකරු යාපනය බන්ධනාගාරයේදී සියදිවි හානි කරගනියි.

by Staff writer 25-05-2026 | 11:30 AM

COLOMBO(News1st) - යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර, ඝාතනය කිරීමේ සිද්ධියේ මරණ දඬුවම නියමව සිටි පුද්ගලයෙකු බන්ධනාගාරය තුළදී සියදිවි හානි කරගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නඩුවේ 2වැනි විත්තිකරු ලෙස නම් කර සිට වැරදිකරුවෙකු වූ 46 හැවිරිදි පූබාලසිංගම් ජයකුමාර් එලෙස මියගොස් ඇති බවයි.

රඳවා සිටි යාපනය බන්ධනාගාරයේ සිර මැරිදිය තුළදී ඔහු ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.

සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර, ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් හතර දෙනෙකුට නියම කර තිබු මරණ දඬුවම, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තහවුරු කළේය.

සියදිවි හානි කරගත්, පූබාලසිංගම් ජය කුමාර්, මහලිංගම් සශී කුමාර් හෙවත් ස්විස් කුමාර්,  තිලයිනාදන් චන්ද්‍රහසන් හෙවත් චන්ද්‍රා සහ සිවතේවන් තුසිතන් හෙවත් පෙරියතම්බි යන විත්තිකරුවන් ඊට ඇතුළත්.

මහලිංගම් සසීදරන් හෙවත් ශෂී සහ ජයදරන් කෝකිලන් යන විත්තිකරුවන් දෙදෙනාගේ දඬුවම් ඉවත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, ඔවුන් නිදොස් කොට නිදහස් කළේය.

සිවලෝගනාදන් විද්‍යා දැරිය එලෙස ඝාතනය කර තිබුණේ, 2015 වසරේ මැයි 13 වැනිදායි