.webp)

ඉතා කෙටි කාලයක් තුළ ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකයක් බවට පත්වීමට ශ්‍රී ලංකා රුපියල හදිසියේම සමත් වී ඇති බව ජාත්‍යන්තර බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා රුපියලේ ශක්තිමත්වීම ආසන්න වශයෙන් වසර තුනකට පසු වාර්තා වූ විශාලතම වර්ධනය ලෙසයි.
ශ්‍රී ලංකා රුපියල සහ ආර්ථීකය ගැන කියන මේ Bloomberg කියන්නේ මොකක්ද ?
Bloomberg යනු 1981 වසරේදී පිහිටවූ මූල්‍ය සේවා ආයතනයක්.
ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය හා මාධ්‍ය සේවා විස්වසනීයව සපයන්නෙක් වන මෙහි ප්‍රධාන මූලස්ථානය පිහිටා තිබෙන්නේ නිව්යෝර්ක් නුවර.
ලොව පුරා ස්ථාන 170කට වඩා වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක Bloomberg - ලොව පුරා සිටින ආයෝජකයින් සහ මූල්‍ය ආයතන සඳහා අත්‍යවශ්‍ය මූල්‍ය මෘදුකාංග, මූල්‍ය දත්ත සහ විශ්ලේෂණ සපයයි.
මෙවැනි දැවැන්ත විස්වසනීය ආයතනයක් අද ලංකාවේ රුපියල ගැන කියන්නේ මොකක්ද?
දින නවයක් පුරා අඛණ්ඩව පහත වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වය දැක්වූ මුදල් ඒකකය බවට පත්ව ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය වාර්තා කරයි.
අදාළ වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය සිකුරාදා එනම් මැයි 22 වැනිදා රුපියලේ අගය ආසන්න වශයෙන් 2.7% කින් ඉහළ ගොස් ඇති බවයි.
මෙය 2023 මාර්තු මාසයෙන් පසුව රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය බව Bloomberg වාර්තාවේ සඳහන් වේ.
රුපියල ශක්තිමත් වීමට බලපෑ හේතු මොනවාද?
රුපියලේ කැපී පෙනෙන වර්ධනයට හේතුව ලෙස Bloomberg හේතු කිහිපයක් පෙන්වා දෙයි.
විදේශ විනිමය ගලා ඒමේ අපේක්ෂාව ඒ අතරින් ප්‍රධානයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඉදිරියේදී විදේශ විනිමය ලැබීමට නියමිත බව වෙළෙඳපොළ පාර්ශවකරුවන් අපේක්ෂා කිරීම හේතුවෙන් මීට පෙර ඩොලර් රඳවාගෙන සිටි පිරිස් තමන් සතු ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීමට පෙළඹී තිබේ.
පුද්ගලික වාහන ආනයනය මත අතිරේක බදු (import duty surcharge) පැනවීමට රජය පියවර ගෙන තිබීම සහ වෙළෙඳපොළ උච්චාවචනයන් පාලනය කිරීමට මහ බැංකුව මැදිහත් වන බව ප්‍රකාශ කිරීමත් රුපියල ස්ථාවර වීමට හේතුවක් වේ.
මැදපෙරදිග යුද්ධය ආශ්‍රිතව පවතින තෙල් අර්බුදය හේතුවෙන් සමස්ත ආසියානු කලාපයේම මුදල් ඒකක පීඩනයකට ලක්ව තිබුණි.
මෑතකදී ආනයනකරුවන් වැඩි වශයෙන් ඩොලර් මිලදී ගැනීමත්, අපනයනකරුවන් තමන් සතු විදේශ විනිමය රුපියල් බවට පත් කිරීම ප්‍රමාද කිරීමත් නිසා රුපියල අවප්‍රමාණය වීම වේගවත් වී තිබූ නමුත් මෙම නව ප්‍රවණතාවත් සමග එය වෙනස් වී ඇති බව Bloomberg පෙන්වා දෙයි.
