පල්ලේගම හේමරතන හිමිට ඇප

පල්ලේගම හේමරතන හිමිට ඇප

by Staff writer 22-05-2026 | 9:15 PM

COLOMBO(News1st) - බාලවයස්කාර දැරියක් බරපතල ලෙස දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ එම හිමිට මුදලට චේතනාන්විතවම තම දියණිය දුෂණය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අද නියෝග කළේ ය.

ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිදු වික්‍රමරත්න විසින් ය.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධීකරණය සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට රුපියල් ලක්ෂ පනහක් වටිනා ශරීර ඇප දෙකක් ද නියම කළේ ය.

ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියම කළේ ය.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදේශගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර හිමියන්ට තරයේ අවවාද කර තිබෙන්නේ, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසයි.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමියන්ට දැනුම් දුන්නේ - යම් හෙයකින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඇප අවලංගු කොට යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පියවර ගන්නා බවටයි.

මේ අතර, දැරියගේ මවට රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයටද විදේශගත වීමද තහනම් කළේ ය.