ප්‍රදේශ රැසකට තදවැසි පිළිබඳ අනතුරු ඇඟවීම්.

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි

by Staff writer 22-05-2026 | 7:59 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.

අද අලුයම 4න් අවසන් වූ පැය 20 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය, කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම අගය, මිලිමීටර 244ක්.

වේයන්ගොඩින් මිලිමීටර 238ක වර්ෂාපතනයක් වාර්තා වන අතර

අවිස්සාවේල්ලෙන් වාර්තා වන වර්ෂාපතන අගය, මිලිමීටර 230ක්

කෑගල්ල, පඹේගම වතුයායෙන් මිලිමීටර 181ක් සහ රත්නපුර නිරිඇල්ලෙන් මිලිමීටර 171ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

කෑගල්ල, තල්දූවට ලැබී ඇති වර්ෂාපතනය, මිලිමීටර 146ක්.

මේ අතර අධික වර්ෂාවත් සමග, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර අවදානම් මට්ටමට ළඟාවී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කැළණි, කළු සහ මාඔයේ ජල මට්ටම් ද ඉහළ යමින් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි පහත් බිම් වල වෙසෙන ජනතාවට දැනුම් දෙන බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර සඳහන් කළේ ය.

අධික වර්ෂාවත් සමග ගම්පහ, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, අදියර දෙක යටතේයී.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද, අදියර දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.