.webp)

මාලදිවයිනේ සිදුවූ දරුණු කිමිදුම් අනතුරකින් පසු අතුරුදන්ව සිටි ඉතාලි ජාතිකයින් හතර දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා (14) සිදුවූ මෙම අනතුරෙන් මියගිය අනෙකුත් සාමාජිකයාගේ සිරුර එදිනම සොයා ගැනීමට හැකිවිය. එම සෝදිසි මෙහෙයුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහභාගී වූ මාලදිවයින ආරක්ෂක බලකායේ සහන සේවා කිමිදුම් නිලධාරියෙකුට ද මෙහෙයුම් අතරතුර ජීවිතය අහිමි විය.
දේශීය බලධාරීන්ට අනුව, අනෙක් සිරුරු හතර සොයාගෙන ඇත්තේ මාලදිවයිනේ 'වාවු අතොළු' (Vaavu Atoll) කලාපයේ මීටර් 60ක් (අඩි 197ක්) පමණ ගැඹුරින් පිහිටි දිය යට ගුහාවක් (Underwater Cave) තුළ තිබියදීය. මාලදිවයින සහ ෆින්ලන්තය නියෝජනය කරන විශේෂඥ කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම සිරුරු හඳුනාගෙන තිබේ.
දැනට සොයාගෙන ඇති සිරුරු ගොඩගැනීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක අතර, ඉදිරි දින කිහිපය තුළ ඒවා මතුපිටට රැගෙන ඒම සඳහා තවදුරටත් කිමිදුම් මෙහෙයුම් සිදුකරන බව මාලදිවයින රජයේ ප්‍රකාශක මොහොමඩ් හුසේන් ෂරීෆ් (Mohamed Hussain Shareef) බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
කොරල් දූපත් නිසා ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් මාලදිවයිනෙන් වාර්තා වූ දරුණුතම තනි කිමිදුම් අනතුරක් ලෙස මෙය විදෙස් මාධ්‍ය හඳුන්වා දෙයි.
මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර ඉතාලියේ ජෙනෝවා විශ්වවිද්‍යාලයේ (University of Genoa) පර්යේෂණ කණ්ඩායමක සාමාජිකයින් සිව්දෙනෙකු වන මහාචාර්ය මොනිකා මොන්ටෙෆැල්කෝන් (Monica Montefalcone), ඇයගේ දියණිය වන ජෝර්ජියා සොම්මකල් (Giorgia Sommacal), පර්යේෂකයන් වන මුරියෙල් ඔඩෙනිනෝ (Muriel Oddenino) සහ ෆෙඩෙරිකෝ ගුවල්ටියෙරි (Federico Gualtieri) ඇතුළත් වේ. මියගිය පස්වන ඉතාලි ජාතිකයා වන්නේ බෝට්ටු මෙහෙයුම් කළමනාකරුවෙකු සහ කිමිදුම් උපදේශකයෙකු ලෙස කටයුතු කළ ජියාලුකා බෙනෙඩෙට්ටි (Gianluca Benedetti) නැමැත්තායි.
මෙම ඛේදවාචකය හේතුවෙන් මාලදිවයින ආරක්ෂක බලකායේ සහන සේවා කිමිදුම් නිලධාරියෙකුට ද (Rescue Diver) ජීවිතය අහිමි වී තිබේ. පසුගිය සෙනසුරාදා සෝදිසි මෙහෙයුම්වලට එක්ව සිටි ස්ටාෆ් සැරයන් මොහොමඩ් මහ්දී (Mohamed Mahdhee) නමැති නිලධාරියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
බලධාරීන් සඳහන් කරන්නේ අතුරුදන් වූවන් සෙවීම සඳහා අට දෙනෙකුගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් යොදවා තිබූ බවයි. අනෙක් කිමිදුම්කරුවන් යළි ජලයෙන් මතුවන විට මහ්දී පැමිණ නොමැති බව නිරීක්ෂණය වී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් නැවතත් දිය යටට ගොස් සිහිය විසඥව සිටි ඔහුව සොයාගෙන තිබේ. රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත්තේ 'Decompression Sickness' (කිමිදුම් ආබාධය) නමැති තත්ත්වය හේතුවෙන් බව වාර්තා වේ.
දැනට අලුතින් සොයාගත් සිරුරු හතරම පිහිටා ඇත්තේ, අනතුර සිදුවූ දිනයේ පළමු සිරුර හමුවූ දිය යට ගුහාවේම ඇතුළත කොටසක බව ද බලධාරීන් වැඩිදුරටත් තහවුරු කරයි.
