.webp)

ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය හරහා පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, ඉරානය වහාම ක්‍රියාත්මක විය යුතු බවයි.
එසේ නොවුණහොත් ඉරානයේ කිසිවක් ඉතිරි නොවනු ඇති බවත්, කාලය අතිශයින්ම වැදගත් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටෘත් පණිවුඩයේ සඳහන්.
ඇමරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත්තේ, යුද්ධය අවසන් කිරීම සඳහා වන ඉරාන ඇමරිකා සාම සාකච්ඡා ඇණහිට ඇති පසුබිමකයි.
කෙසේ නමුත් ඉරාන පාර්ශවය චෝදනා කළේ, තමන් පසුගියදා ඉදිරිපත් කළ සාම යෝජනා පිළිබඳව නම්‍යශීලී වීමට හෝ සම්මුතියකට පැමිණීමට ඇමරිකාව උත්සහ නොගත් බවයි.
ඇමරිකාව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා භාවිත කරන්නේ, ඔවුන්ගේ හමුදාමය අරමුණු සඟවා ගැනීමට ආවරණයක් ලෙසින් බවටද ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි චෝදනා කළේ ය.
ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට ඇමරිකාව සහ ඊශ්‍රායලය අසත්‍ය ප්‍රකාශ සිදුකලද, කලාපයේ අස්ථාවරත්වය සහ ගැටුම් නිර්මාණය කිරීමට වගකිව යුත්තේද ඇමරිකාව සහ ඊශ්‍රායලය බව ඔහු පවසයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කොට අදට දින 80ක්.
මෙවැනි පසුබිමක ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර පැය භාගයක පමණ දුරකථන සාකච්ඡාවක් ඊයේ (17) පැවැත්වූණු බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ ය.
එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය චීන සංචාරය පිළිබඳව මෙන්ම ඉරානය පිළිබඳව නෙතන්යාහු දැනුවත් කර ඇතැයි, එම පුවත් වාර්තා වල සඳහන්.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මැද පෙරදිග කලාපයේ සිතියමක් මත ඇමරිකානු ධජය විහිදුවා ඇති ආකාරය දැක්වෙන සංස්කරණය කළ ඡායාරූපයක්ද සිය ටෘත් ගිණුමට එක් කර තිබේ.
