ඉදිරි දිනවලත් ගිගුරුම් සහිත වැසි...

අඩු පීඩන කලාපයේ බලපෑමෙන් ඉදිරි දිනවලත් ගිගුරුම් සහිත වැසි.

by Staff writer 16-05-2026 | 10:21 PM

COLOMBO(News1st) - දිවයින වටා දැනට පවතින වැසි සහ සුළං තත්වය, ඉදිරි දින කිහිපයේ තවදුරටත් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අඩු පීඩන කලාපය තවදුරටත් පවතින්නේ දිවයිනට ඊසාන දෙසින්.

ඒ හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් තද සුළං සමග මුහුද රළු විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි..

මේ අතර, කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 50ත් 55ත් පමණ දක්වා ඉහළ යා හැකියි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.