.webp)
-615927-616122.jpg)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකන් ගුවන් සමාගම හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මියගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේ සීසීටීවී කැමරා පද්ධතියේ දත්ත ගබඩා වීමක් නොමැති බව අද කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ මෙම මරණයට අදාළව සිදුකල විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් ය.
කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධව මරණ පරීක්ෂණ සාක්ෂි විමසීම අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි සිදු කළේ ය.
එහිදී විමර්ශන නිළධාරීන් කියා සිටියේ සෝදිසි වරෙන්තුවට අනුව හයිඩ් පාර්ක් ප්‍රදේශයේ පිහිටි කපිල චන්ද්‍රසේනට අයත් යැයි කියන නිවසක් පරීක්ෂා කළ බවයි.
එම නිවස ඔහුගේ බිරිඳගේ නමින් ඇති නිවසක් බව කියා සිටි විමර්ශන නිළධාරීන් පැවසුවේ, නිවසේ තිබී සොයා ගත් ලැප්ටොප් දෙකක් සහ ලිපිගොනු කිහිපයක් නඩු භාණ්ඩ ලෙස භාරයට ගත් බවයි.
මියගිය ස්ථානයේ තිබී සොයා ගත් නම සඳහන් නොකළ කොළ වල ඔතා තිබූ ඖෂධ වර්ග දෙක රජයේ රස පරික්ෂකවරයා වෙත යෑවීමට කටයුතු කරන බවද විමර්ශන නිළධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.
කපිල චන්ද්‍රසේන මියගොස් සිටි නිවසේ සියලු CCTV කැමරා දර්ශන මේ වනවිට විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇත්දැයි එහිදී මහේස්ත්‍රාත්වරයා විමසුවේ ය.
ඊට පිළිතුරු දුන් විමර්ශන නිළධාරීන් කියා සිටියේ, අදාල නිවසේ සීසීටීවී කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියත් එහි දත්ත ගබඩා වීමක් සිදු නොවන බව විමර්ශනයේදී හෙළි වූ බවයි.
නමුත් අදාළ නිවසට ආසන්න නිවාස කිහිපයක සිසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කල බව විමර්ශන නිලධාරීන් පැවසුවේ ය.
ඔවුන් කියා සිටියේ එම සීසීටිවි දර්ශන වල අදාල නිවසට ඇතුල් වන සහ පිටවන පිරිස් පැහැදිලිව දක්නට ලැබෙන බවයි.
මරණ පරීක්ෂණ සාක්ෂියට අද 6 දෙනෙකු කැදවා තිබුණි.
