අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..

by Staff writer 11-05-2026 | 7:25 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුළදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ, එහි ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසුවේ ඒ අනුව, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය හා මුහුදු ප්‍රදේශය ආශ්‍රිත සුළගේ වේගය ඉහළ යා හැකි බවයි.

අද (11) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

වැසි තත්ත්වයේ වැඩිවීමත් සමග නායයාමේ අවදානම් කලාපවල වෙසන ජනතාව ඉතාම සැලකිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ වසන්ත සේනාධීර පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සරටත්, මොරණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර හා වැල්ලවායටත් නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයිද ඔහු පැවසුවේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ ඉංජිනේරු චාමර යාපාආරච්චි පැවසුවේ ප්‍රධාන ජලාශ 9 ක් මේ වන විට වාන් දමමින් පවතින බවයි.

කඳුකර ආශ්‍රිත කුඩා දියපාරවල එක ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් දිය නෑමේදී සැලකිලිමත් වන්නැයිද ඔහු සඳහන් කළේ ය.

මේ අතර කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබඳ මේ දිනවල විශේෂ අවධානයක් යොමුකරන්නැයි ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.