ට්‍රම්ප්ගේ අලුත්ම මෙහෙයුම 'Project Freedom'

හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති මැදපෙරදිග ගැටුම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති රටවල නෞකා නිදහස් කරගැනීමට Project Freedom නමින් නව ක්‍රියාවලියක් - ට්‍රම්ප්

by Staff writer 04-05-2026 | 7:27 AM

COLOMBO (News1 st) - හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකා නිදහස් කරගැනීමට අද (04) නව ක්‍රියාවලියක් ආරම්භ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එය නම් කර ඇත්තේ "ප්‍රොජෙක්ට් ෆ්රීඩම්" (Project Freedom) ලෙසින්.

අද අලුයම 2ට පමණ ටෘත් සෝෂල් ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප් නිවේදනය කළේ, ඉරාන - ඇමරිකා යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති අහිංසක රටවල නෞකා, හෝමූස් සමුද්‍ර සන්ධියෙන් පිටවීමට නොහැකිව දැඩි පීඩාවකට ලක්ව ඇති බවයි.

එම නෞකා නිදහස් කර දෙන්නැයි අදාළ රටවල් ඇමරිකාවෙන් ඉල්ලීමක් කළ බව ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් පෙන්වා දෙන්නේ අදාළ රටවල්, මැද පෙරදිග දැනට පවතින තත්ත්වයට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන කලාපවලින් පැමිණි මධ්‍යස්ථ රටවල් බවයි.

නව මෙහෙයුම, කිසිදු වරදක් සිදුකර නොමැති රටවල නෞකා සමාගම් සහ නාවිකයින් නිදහස් කිරීම වෙනුවෙන් පමණක් සිදුවන්නක් බවද ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

එය ඉරානය, මැද පෙරදිග රටවල් සහ ඇමරිකාව වෙනුවෙන් ගනු ලබන මානුෂීය පියවරක් පමණක් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටෘත් පණිවුඩයේ සඳහන්.

ඒ සම්බන්ධයෙන් ඇමරිකානු නියෝජිතයින් සහ ඉරානය අතර ඉතාම ධනාත්මක සිදුවෙමින් ඇති බවත් ට්‍රම්ප් සඳහන් කළේ ය.

කෙසේ නමුත් අදාළ මානුෂීය මෙහෙයුමට බාධා කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ පණිවුඩයේ සඳහන්.

කෙසේ නමුත් නෞකා නිදහස් කරගැනීම සිදුවන්නේ කෙසේදැයි ට්‍රම්ප් පැහැදිලි කර නොමැත. 

මේ එන විට හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකා සම්බන්ධයෙන් නිශ්චිත දත්ත වාර්තා වුවද, නෞකා 2000ක නාවිකයින් 20,000ක් පමණ පර්සියන් බොක්ක ආශ්‍රිතව සිරවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට මාසයකට පමණ පෙර වාර්තා කළේ ය.