ඉරානයේ නව සාම යෝජනාවලට ඇමරිකාවේ ප්‍රතිචාරය...

ඉරානයේ නව සාම යෝජනාවලට ඇමරිකාවේ ප්‍රතිචාරය...

by Staff writer 04-05-2026 | 8:29 AM

COLOMBO (News 1st) - ඉරානය ඉදිරිපත් කළ නව සාම යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රතිචාරය ලැබී ඇති බවත්, ඉරාන බලධාරීන් එය සමාලෝචනය කරමින් ඇති බවත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් සති අන්තයේදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානය ඔවුන් සිදුකර ඇති වැරදිවලට තවමත් ප්‍රමාණවත් ලෙස වන්දි ගෙවා නොමැති බවයි.

ඒ අනුව බොහෝ දුරට අදාළ සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප් සඳහන් කළේ ය.

ඇමරිකාව විසින් ඉදිරිපත් කළ බව කියන කරුණු 9ක සාම සැලැස්මකට ප්‍රතිචාර වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ පාකිස්ථානය හරහා ඉරානය කරුණු 14ක සැලැස්ම ඉදිරිපත් කර ඇතැයි, විදෙස් වාර්තාවල දැක්වේ.

ඇමරිකාව මාස දෙකක සටන් විරාමයක් අපේක්ෂා කළ ද, ඉරානය පාර්ශ්වය ඊට එකඟ නොවන බව වාර්තා වේ.

සටන් විරාමය දීර්ඝ කිරීම වෙනුවට යුද්ධය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය බවත් දින 30ක් ඇතුළත සියලු ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය බවත් ඉරානය ඔවුන්ගේ නව යෝජනාව හරහා දන්වා ඇතැයි, අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ ය.

වසර ගණනාවක සිට ඉරාන ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති සම්බාධක ඉවත් කිරීම, අක්‍රීය කර ඇති ඉරානය සතු විදෙස් වත්කම් යළි ඉරානයට ලබාදීම මෙන්ම ඉරානය අවට රඳවා සිටින ඇමරිකානු හමුදා ඉවත් කරගැනීමත් එම යෝජනාව ඇතුළත් බව විදෙස් වාර්තාවල දැක්වේ.

ඉරානය සතුව බලගැන්වූ යුරේනියම් කිලෝ ග්‍රෑම් 400ක පමණ සංචිත පවතින අතර ඒ සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම කල් දැමීමටද ඉරානය බලාපොරොත්තු වේ.