.webp)
-615088.jpg)
අමාත්‍ය චන්දන අබේරත්න පැවසුවේ, විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 16ක පමණ අදහස් ඇතුළත් එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු පුළුල් ලෙස සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට රජය සූදානම් බවයි.
මෙම වාර්තාව සකස් කිරීමේදී විදේශගත ශ්‍රමිකයන්, ශිෂ්‍යයන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූවන් ලෙස පුද්ගලයන් කාණ්ඩ හතරකට හඳුනාගෙන තිබෙන බව කමිටු සභාපති අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ එල්. ඒ. පී. කේ. කුලරත්න සඳහන් කළේය.
ඔහු පැවසුවේ, එම ක්‍රියාවලිය ප්‍රධාන අංශ 04ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බවයි.
විදේශගත ශ්‍රමිකයන්, සිසුන් සහ ද්විත්ව පුරවැසියන් විධිමත් ලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විදේශයන්හි සිටින ඡන්දදායකයන් සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සහ මැතිවරණ වියදම් නියාමන පනතේ බලපෑම, තානාපති කාර්යාල හරහා, තැපැල් මගින් හෝ ආරක්ෂිත මාර්ගගත (Online) ක්‍රමවේද භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඇති හැකියාව සහ ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම එම ප්‍රධාන අංශ 4යි.
වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ මෙම පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව 2025 දෙසැම්බර් මාසයේදී මෙම කමිටුව පත් කරනු ලැබුවා.
විදේශගත පුද්ගලයන්ට අමතරව, මෙරට අත්‍යවශ්‍ය සේවාවල නිරත වෛද්‍යවරුන්, රේගු නිලධාරීන් මෙන්ම ධීවරයන්, සිරකරුවන් සහ රෝගාතුරව සිටින පුද්ගලයන් සඳහා ද පූර්ව ඡන්දය හෝ ජංගම ඡන්ද ක්‍රම හඳුන්වාදීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවට එහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.
