.webp)
පාස්කු දින ප්‍රහාරය එල්ලකළ කල්ලියේ සිටි පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් පිළිබඳව සැබෑ තොරතුරු වසන් කිරීමට උත්සාහ කළ ආකාරය.
අප මේ අනාවරණ සිදුකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සිදුකරන පුළුල් විමර්ශනයට අදාළව අධිකරණයට වාර්තාකල තොරතුරු මත පදනම්වයි.
පුල්ස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් කියන්නේ, කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බය පුපුරුවා ගත් මොහොමදු හස්තූන් ගේ බිරිඳ
සාරා මෙම ත්‍රස්ත ක්‍රියාව සඳහා සක්‍රීයව දායකවූ බව විමර්ශනවලදී හෙලි වන අතර
මේ ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවට අදාළ සමස්ථ ක්‍රියාවළිය පිළිබඳව ඇය ප්‍රබල සාක්ෂියකි.
එහෙත් සාරා ජීවත්ව ඉන්නවාද? නැද්ද? යන කරුණ පිළිබඳව අවුරුදු 7ක් පුරා නිර්මාණයකර තිබුණේ විවාදාත්මක තත්ත්වයක්.
ක්‍රමයෙන් ලිහෙමින් ඇති මේ පටලැවිල්ලට අදාළව හෙලිවන කරුණු කිහිපයක් මේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ 2019 අප්‍රේල් 26 ආරක්ෂක අංශ අම්පාර සයින්දමර්දුවල සහරාන්ගේ නිවස වැටලුවා.
සහරාන් හෂීම්ගේ සහෝදරයා, මොහොමඩ් රිල්වාන් බෝම්බයක් පුපුරාවාගන්නේ එතැනදි.
වැඩිහිටියන් සහ ළමයින් ඇතුළු 16දෙනෙක් මේ ස්ථානයේ මිය ගිය බව පසුව ප්‍රකාශය කෙරුණි.
මේ වෙලාවේ සාරා මෙතන හිටියද?
එහෙම නම් සාරා මිය ගියාද?
නැත්නම් සාරා පැනලා ගියාද?
ප්‍රහාරයෙන් පස්සෙ දෙවතාවක් සිදුකල DNA පරීක්ෂණවලින් සාරා මිය ගිය බවත් තහවුරු වූ නොමැති අතර
2022 අප්‍රේල් 27 වෙනිදා ඒ කියන්නෙ 2022 අද(27) වගේ දවසක ආයෙමත් DNA පරීක්ෂාවක් සඳහා සායින්දමර්දුවලදී මිය ගිය සිරුරු ගොඩ ගත් අතර
පසුව එවක බලධාරීන් සඳහන් කළේ, හදුනානොගත් අස්ථි කොටස් දැමූ බෑගයක තිබූ අස්ථි කොටස් දෙකකින් ඒවා සාරා ජස්මින්ගේ මවගේ දියණියකගේ බවට DNA පරීක්ෂාවේදී හදුනා ගත් බවයි.
නමුත් හරියටම සාරාගේ කියලා ඒ වෙලාවේ සඳහන් කළේ නැහැ.
පස්සෙ 2023 මාර්තු මාසයේ එවක අපරාධ පරීක්ෂණය සිදුකල පිරිස නිවේදනයක් නිකුත් කළේ ය.
ඒ නිවේදනයේ සඳහන් වුණේ, 2019 අප්‍රේල් මස 26 සායින්දමර්දුවල මිය ගිය අය අතර සාරා ජස්මින් සිටින බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් තහවුරු කරන බවටයි.
සාරාගේ මවගෙන් ලබාගත් DNA සමඟ අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කීපයක DNA සාම්පල මව සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරුවන ප්‍රතිපලයක් බවත් එහි සඳහන් විය.
රස පරීක්ෂක වාර්තාව උපුටා දක්වමින් CIDය එහිදී සඳහන් කළේ, එහි ගැලපීමේ සම්භාවිතාව සියයට 99.9999 ක් බවයි.
එහෙත් 2022 සිදුකළ මෙම DNA පරීක්ෂාව සැකසහිත බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2025 නැවත පන ගැන්වූ විමර්ශනයෙන් පසුව අධිකරණයට වාර්තා කළේ ය.
මෙම විමර්ශන ක්‍රියාවළියේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සාක්ෂි දෙමින් හෙළිකර තිබුණේ සායින්දමර්දු බෝම්බ පිරිම්වලින් හා වෙඩි තැබීම්වලින් පසු ප්‍රදේශයම සම්පුර්ණයෙන් නිශ්ෂබ්ද වූ බවයි.
එම අවස්ථාවේ යතුරු පැදියක් පණගන්වා පිටව යන ශබ්දය හොදින් ඇසුණු බව සාක්ෂිකරු හෙලි කර තිබේ.
පොලිස් අධිකාරීවරයෙකු ලබාදුන් තවත් සාක්ෂියක හෙළිකර තිබුණේ එම යතුරුපැදියේ ශබ්දය තමාටද ඇසුණු බවයි.
සහරාන්ගේ පවුලේ සමාජිකයින් මෙම සායින්දමර්දු නිවස වෙත පැමිණීමට වෑන් රථයක් සහ යතුරු පැදි දෙකක් උපයෝගී කරගත් බවට තොරතුරු ලැබුනද පිපිරීම අවස්ථාවේ තිබී ඇත්තේ එක් යතුරු පැදියක් පමණක් බව පොලිස් අධිකාරිවරයාගේ ප්‍රකාශයේ සඳහන් වේ.
බදුල්ල අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රකාශකර ඇත්තේ සාරා ජස්මීන්ගේ සිරුර වාෂ්පවී යාමට තරම් පිපිරීමක් සයින්දමර්දු නිවස තුළ සිදුව නොතිබූ බවයි.
සාරා ජස්මින් සායින්දමර්දු පිපිරීමෙන් පසු කල්මුණේ නගරයට පැමිණ වෙල්ලාවලි පිහිටි ඇගේ ඥාතී නිවසකට ගොස් ඇති බවත් පසුව මංකාඩු සිට මන්නාරමට මුහුදු මාර්ගයෙන් ගොස් ඇති බවත් පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියෙකුගේ සාක්ෂියකින් හෙලිවී තිබුණි.
සාරා සමග සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය ජෝසුවා නැමැත්තා පිපිරීමෙන් පසු ඇයට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති බවත් එවිට ඇගේ දුරකථනය විසංධිවී තිබූ නමුත් පසුව ජෝසුවාගේ දුරකථනයට සාරාගේ දුරකථනයෙන් ඇමතුමක් ගෙන තිබූ බවත් එම බුද්ධි නිලධාරීයා ප්‍රකාශකර තිබේ.
සාරා ජස්මින්ට මොකද වුණේ? මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය වසරේදී මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කළේ ය.
''සහරාන්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක් වූ පුළස්තනී මහේන්ද්‍රන් නොහොත් 'සාරා ජෙස්මින්' 2019.04.26 වෙන දින සයින්දමරුදු ප්‍රදේශයේ දී සිදුවූ ස්වයං ඝාතන බෝම්බ පිපිරීමෙන් මියගිය බවට ඒ පිළිබඳව DNA වාර්තා අවස්ථා දෙකකදී කැඳවා තිබුණා. මේ පිළිබඳවත් මෙතන මතුවුණා.DNA වාර්තා අවස්ථා දෙකකදි කැඳවා තිබුණා. ඒ DNA වාර්තා වූ සාරා ජස්මින්ගේ සමීප ඥාතීන් සමග ගැළපුණේ නෑ අවස්ථා දෙකකදී. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේ සාරා ජස්මින්ගේ මවගේ DNA වාර්තා සමඟ සැසදී තිබෙනවා තුන්වැනි අවස්ථාවේ. ඒ වෙලාවේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහත්මයා එම DNA වාර්තාව ලබා ගැනීමේදී ඉදිරිපත් කරන සාම්පල ලබා ගැනීම එම ක්‍රියා කලාපය ගැන බරපතළ සැකයක් අනාවරණය වෙලා තිබේනවා. මේ DNA වාර්තා ලබා ගැනීම. තුන්වෙනි වතාවෙදි අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප වුණා. එහෙම DNA වාර්තා ගැලපුනේ නෑ.හැබැයි තුන්වෙනි අවස්ථාවේදී ගැලපිලා තියෙනවා. මේ ක්‍රියාදාමය පිළිබඳව මේ වෙනකොට බරපතල සැකයක් මතුවෙලා තියෙනවා.''
