හිඟ බදු ගෙවා අවසන් කරන්න, මෙන්ඩිස් සමාගමට නියෝග..

ගෙවා නැති බදු මුදල්,වහාම ගෙවා අවසන් කරන්න අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට නියෝග..

by Staff writer 23-04-2026 | 11:30 PM

COLOMBO (News 1st) - ඩබ්ලිව්. එම් මෙන්ඩිස් සහ සමාගම රජයට හිඟ තබා, නොගෙවා පැහැර ඇතැයි කියන වැට් බදු මුදල් අතපසු කිරීමකින් තොරව වහාම ගෙවා නිම කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි, එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළේ ය.

2016-2017 වර්ෂවලට අදාළව ඩබ්ලිව්. එම් මෙන්ඩිස් සහ සමාගම නොගෙවා පැහැර හැර ඇතියි  කියන රුපියල් මිලියන 996 ක බදු මුදලක් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරූ නඩුව අද (23) කැඳවිය.

2023 පෙබරවාරි මාසයේ සිට මාසිකව ගෙවන රුපියල් මිලියන 5 බැගින් වූ හිඟ බදු මුදල් සඳහා සහනයක් සලසන ලෙසට කළ ඉල්ලීම මෙහිදී අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ තම සේවාදායකයාගේ සමාගමේ මත්පැන් බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා මත්පැන් නිෂ්පාදනාගාර බැංකු මගින් වෙන්දේසි කිරීමට යොමු කර ඇති බැවින් හිඟ බදු මුදල් වාරිකය ගෙවීමට මූල්‍යමය දුෂ්කරතා  පවතින බවයි.

විත්තිකාර සමාගම මෙම බදු ගෙවීමට නියමිත කාලය ඉක්මවා ඇති බැවින් බදු මුදල් නිසි පරිදි ගෙවීමට කටයුතු කරන ලෙසට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය මැයි මස 25 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.