මහජන උපයෝගිතා කොමිසම ඒකමතික තීරණයක....

විදුලි ගාස්තු සංශෝධනයේදී ගල්අගුරුවල තත්ත්වය නිසා, වැය වන අතිරේක පිරිවැය, පාරිභෝගිකයාගෙන් අයකරන්නේ නෑ - PUCSL

by Staff writer 12-04-2026 | 5:45 PM

COLOMBO (News 1st) - ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයේදී ගල්අගුරුවල තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය, විදුලි පාරිභෝජකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ 2026 වසරේ දෙවැනි කාර්තුව සඳහා 15%කට ආසන්න ප්‍රතිශතකයින් යළිත් විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ජාතික පද්ධති පාලක පෞද්ගලික සමාගම මහජන උපයෝගිතා කොමිසමෙන් පසුගියදා සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.

2026 වසරේ දෙවන කාර්තුව සඳහා 10%ක විදුලි ගාස්තු සංශෝධනයකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගියදා අවසර ලබාදුන්නේ ය.

කෙසේ වෙතත් යළි 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගම මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර කළේ විදුලි ජනනයේදී සිදුවන රුපියල් බිලියන 16ක අතිරේක පිරිවැයක් පියවා ගැනීමටයි.

අපේක්ෂිත විදුලි ගාස්තු වැඩි කිරීමට හේතු කිහිපයක්ද ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසමට දන්වා තිබිණි.

පවතින වියළි කාලගුණය , මැදපෙරදිග යුදමය වතාවරනය හා විදුලි උත්පාදනයට යොදාගන්නා ගල්අගුරුවල තත්ත්තව වැනි හේතු ඊට ඇතුළත්.

කෙසේ වෙතත් ජාතික පද්ධති පාලක පෞද්ගලික සමාගම මහජන උපයෝගිතා කොමිසමෙන් පසුගියදා සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් උපයෝගිතා කොමිසම පවසන්නේ ගල්අගුරුවල තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයින්ගෙන් අය නොකිරීමට ඒකමතිකව තීරණය කළ බවයි.

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී සලකා බලනුයේ විදුලිය ජනනය , සම්ප්‍රේෂනය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බව මහජන උපයෝගිතා කොමිසම අවධාරනය කරයි.

පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදීද ගල්අගුරු තත්ත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බව මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව ඉදිරි ගාස්තු සංශෝධන යෝජනාවලදීද ගල්අගුරුවල තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලි ගාස්තුවලට ඇතුළත් නොකිරීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසම අවධාරණය කරයි.

මේ අතර කොහුවල පිහිටි ලංකා ගල්අගුරු සමාගමේ කාර්යාලය මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) පස්වරුවේ පියවර ගත්තේ ය.

ඒ 2009 සිට ගල්අගුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂනයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අදාළව එම දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති පසුබිමකයි.

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ලංකා ගල්අගුරු සමාගමේ කාර්යාලයේ පැය 24 පුරා ආරක්ෂාවටද යොදවා තිබේ.

මේ අතර විමර්ශනයට අදාළව අවශ්‍ය සෝදිසි කිරීම් සහ ලිපිගොනු පරීක්ෂාවන් සිදුකරමින් අවශ්‍ය විශ්ලේෂණ ආරම්භ කරමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.