.webp)
-613662.jpg)
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා - රුසියා 11 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටයේදී ඒ පිළිබඳ සාකච්ඡා වූ බවයි. විදේශ අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ යන මහත්ම මහත්මීන්ගේ සම සභාපතිත්වයෙන් යුත් එම දේශපාලන උපදේශන වටය ඊයේ කොළඹදී පැවැත්විණි.
එහිදී සංචාරක, අධ්‍යාපන, ආරක්ෂක, තාක්ෂණික සහයෝගීතාව, වෙළෙඳාම සහ ආයෝජන මෙන්ම ක්‍රීඩා හා සංස්කෘතික යන ක්ෂේත්රවල සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ. දෙරට අතර පවතින ශක්තිමත් හවුල්කාරීත්වය සිහිපත් කරමින්, බහුපාර්ශ්වික සංසඳවල අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාවට ඇති කැපවීම ඊයේ පැවති සාකච්ඡාවලදී යළි තහවුරු කෙරිණි.
ශ්‍රී ලංකා - රුසියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ලබන වසරේදී වසර 70ක් සපිරේ. ඒ නිමිත්තෙන් ඉහළ මට්ටමේ සංචාර ඇතුළු සැලසුම් සහගත ක්‍රියාකාරකම් මාලාවක් පැවැත්වීමට ද දෙපාර්ශ්වය එකඟ වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මේ අතර මෙරට නිල සංචාරයක නිරත රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ නිල වශයෙන් හමුවිය. එහිදී අදහස් දැක්වූ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පැවසුවේ, මෙම අසීරු අවස්ථාවේදී අවශ්‍ය රුසියානු තෙල් කඩිනමින් මෙරටට සැපයීමට පියවර ගන්නා බවයි. ශ්‍රී ලංකාවට සහයෝගය අවශ්‍ය සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් පෙනී සිටීමට රුසියාව සූදානමින් සිටින බව ද ඔහු එහිදී අවධාරණය කළේය.
රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ගෙවීමට පියවර ගැනීමට ද මෙම සාකච්ඡාවලදී රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එකඟතාව පළ කර තිබේ. එහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, ඉදිරි කාලයේදී රුසියාව සමඟ තවත් දිගුකාලීන වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරන බවයි.
