රටවල් රැසක තෙල් සංචිත අවසන් වීමේ අවදානමක්..

ලෝක බලශක්ති අර්බුදය මැද රටවල් රැසක තෙල් සංචිත අවසන් වීමේ අවදානමක් - ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි

by Staff writer 01-04-2026 | 9:27 PM

COLOMBO(News1st) - අප්‍රේල් මාසයේදී ලෝක තෙල් සැපයුමට එල්ල වන බලපෑම දැඩි වනු ඇති බවටත්, මෙම තත්ත්වය ආර්ථික කාල බෝම්බයක් හා සමාන බවටත්, විශ්ලේෂකයින් අනතුරු අඟවයි.

ඇමරිකාවේ පිහිටි ලෝකප්‍රකට බහුජාතික බැංකු ආයතනයක් වන, ජේ.පී.මෝගන් සමාගම නිකුත් කළ නවතම වාර්තාවක් උපුටා දක්වමින් විශ්ලේෂකයින් පවසන්නේ, යුද්ධය හේතුවෙන් ලෝක තෙල් සංචිත අවසන් වීමේ අවදානමක් මතුව ඇති බවයි.

යුදමය වතාවරණය හමුවේ තෙල් සංචිත හිඟවීමේ අවධානමට මුලින්ම ආසියානු කලාපයේ රටවල් වලටත් පසුව අප්‍රේල් මාසය අවසන් වන විට බටහිර රටවලටත් මුහුණ දීමට සිදුවන බව ජේ පි මෝගන් සමාගමේ වාර්තාවේ සඳහන් ය.

මේ වන විට ලෝකයේ රටවල් ගොඩබිමේ පවතින තෙල් සංචිත මත ඔවුන්ගේ පැවැත්ම රදාපවත්වාගෙන යන බවත් , හෝමූස් වසා දැමීම නිසා නැව් මගින් අලුතින් පැමිනෙන තෙල් සැපයුම් අඩාල වීම හේතුවෙන් බොහෝ රටවල සංචිත අවසන් වීමේ අවදානමක් පවතින බවත් එහි සඳහන් ය.

ඉදිරියේදී තෙල් ප්‍රවාහනය කරන නෞකාවකට සිය ගමනාන්තය කරා යාමට ගතවන කාලය මත ආර්ථික කාල බෝම්බයක් වැනි මෙම අර්බුදය පුපුරා යන මොහොත තීරණය කරන බවයි.

එම නිසා උදා වුනු අප්‍රේල් මාසය ලෝක බලශක්ති ඉතිහාසයේ තීරණාත්මකම මාසයක් වනු ඇති බවට මෙම වාර්තාවෙන් අනතුරු අඟවයි.

සාමාන්‍යයෙන් ගල්ෆ් කලාපයේ සිට ආසියාවට තෙල් නෞකාවක් පැමිණීමට දින 10 සිට 20 දක්වා කාලයක් ගත වන අතර පවතින තත්වය හේතුවෙන් එම කාලය අවසන් වීමත් සමඟ ආසියානු රටවල තෙල් ගබඩා ශීඝ්‍රයෙන් හිස් වෙමින් පවතින බව අදාල වාර්තාවේ සඳහන් ය.

හොර්මුස් අවහිරතාව හේතුවෙන් ලෝකයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති කලාපය බවට මේ වන විට ආසියාව පත්ව ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

මැයි මාසය වන විට ආසියාවේ තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 2කින්ද,  ජූනි මාසය වන විට බැරල් මිලියන 3කින්ද පහත වැටෙනු ඇති බව ජේ.පී. මෝගන් වාර්තාවේ සඳහන් ය.

බ්‍රෙන්ට් බොරතෙල් මිල පෙබරවාරි 28 වනදා සිට  49%කින් ඉහළ ගොස් ඇති අතර, එය අද පස්වරුව වන විට තිබුණේ ඩොලර් 100 සීමාවේයි.

WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 97 සීමාවේ පැවැති අතර මර්බන් බැරලයක මිල ඩොලර් 106 කි.

ආසියාවෙන් පසුව මෙම තෙල් හිඟයේ බලපෑම අප්‍රිකානු මහාද්වීපයටත්, පසුව යුරෝපයටත් තදින්ම දැනෙනු ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

යුරෝපයට තෙල් හිඟයකට වඩා මුහුණ දීමට සිදු වන්නේ අධික මිල ඉහළ යාම සහ තෙල් ලබා ගැනීම සඳහා ආසියානු රටවල් සමඟ පවතින දැඩි තරඟකාරීත්වය සමඟ බවද වාර්තාවේ දැක්වෙයි.

මෙම ගැටුම ලබන ජූනි මාසය දක්වා ඇදී ගියහොත්, ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යාමට 40%ක ඉඩකඩක් පවතින බව විශ්ලේෂකයින් පෙන්වා දෙන තවත් කරුණකි.

ඔවුන් පෙන්වා දෙන්නේ එසේ වුවහොත් ඇමරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 7ක් දක්වා ඉහළ ගොස් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.