ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්....

කෙටි කලක් තුළ ඉරානය සමග එකඟතාවකට පැමිණීමට නොහැකි නම්, ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන විනාශ කරනවා.. - ඩොනල්ඩ් ට්‍රම්ප්

by Staff writer 31-03-2026 | 10:19 AM

COLOMBO (News 1st) - කෙටි කලක් තුළ ඉරානය සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්තාන විනාශ කර දමන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ අදහස් දැක්වූයේ, ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමිනි.

මුහුදු ජලයේ ලවණ ඉවත් කොට එය පරිභෝජනය කළ හැකි තත්ත්වයට පත් කිරීම, ජල පිරිපහදු මධ්‍යස්ථාන හරහා සිදුවේ.

යුද මෙහෙයුම් අවසන් කිරීම සඳහා ඉරානයේ වඩාත් සාධාරණ පාලන තන්ත්‍රයක් සමගින් අමෙරිකාව සාකච්ඡා වල නිරතව සිටින බවත් දැනටමත් ඉන් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත්, එම පණිවුඩයේ සදහන්.

කෙසේ නමුත් ඉරානය සමග සාකච්ඡා බිඳ වැටී ඔවුන් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි නාවික ගමනාගමනය සඳහා විවෘත නොකළහොත් ඇමරිකාව ඉරානයෙන් පිටව යන්නේ එරට විදුලි බලාගාර, කාර්ග් දූපත සහ ජල පිරිපහදු මධ්‍යස්තාන පවා පුපුරුවා හැර සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් පසුව බව ට්‍රම්ප් අනතුරු අඟවයි.

ඇමරිකාව හිතාමතාම කිසිදු විදුලි බලාගාරයක් හෝ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් මෙතෙක් ඉලක්ක කර නොමැති නමුත්, වසර 47ක කාලයක් ඉරාන භීෂණ රෙජීම් පාලනය ඇමරිකානු භටයින් ඝාතනය කර ඇති බවත්, ඊට පළිගැනීමක් වශයෙන් අදාළ ප්‍රහාර එල්ල කරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.