බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දෙයි..

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දෙයි..

by Staff writer 27-03-2026 | 3:09 PM

COLOMBO (News1st): බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා පත්‍ර භාර දුන්නේ ය.

මහාධිකරණ  විනිසුරු රශාන්ත ගොඩවෙල හමුවේ අධි චෝදනා පත්‍ර භාර දීම සිදුවිය.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකරු ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු වාර්තා කැඳවීමට නියෝග කළේ ය.

2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් රජයට රුපයිල් 8859708/-ක පාඩුවක් කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබේ.

එමඟින් අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ  ‘දුෂණය’ නමැති වරද කළ බවටද විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා  තිබේ.

නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි 6 සිදු කිරීමට නියමිතයි.