ගල්අඟුරු ටොන් ලක්ෂ 3 මිලදී ගැනීමට ටෙන්ඩර් පිරිනමයි

ගල්අඟුරු මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ක්ෂණික මිලදී ගැනීමට ටෙන්ඩර් ප්‍රදානයක්.

by Staff writer 25-03-2026 | 7:57 PM

COLOMBO (News 1st) - පවතින කාලගුණ තත්ත්වය හමුවේ මෙගාවොට් 2,959 ක විදුලි පරිභෝජනය ඊයේ (24) දිවා කාලයේදී වාර්තා වී තිබේ.

රාත්‍රී කාලයේදී පරිභෝජනය ඉහළ ගොස් ඇත්තේ, මෙගා වොට් 3,072 ක් ලෙසයි.

දහවල් කාලයේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 21%ක් සපයා ඇත්තේ සූර්යය බලශක්තියෙනි.

14% ක් ජල විදුලි උත්පාදනයෙන් සපයා ඇති අතර 26%ක් ඉන්ධන භාවිතයෙන් සිදුකර තිබේ.

මෙරට ප්‍රධානම විදුලි බලාගාරය වූ නොරොච්චොලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය මේවනවිට ජාතික පද්ධතියට එක් කරන්නේ මෙගාවොට් 670 පමණ ප්‍රමාණයක්.

මේ වන විට 14%ක් වූ ජල විදුලි නිෂ්පාදනය ද 42.2% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ දහවල් කාලයේ සූර්යය බලාගාර මගින් ලැබෙන මෙගාවොට් 1,500 ක විදුලි ජනනය රාත්‍රී කාලයේදී අහිමි වීමත් සමගයි.

එම තත්ත්වය යටතේ ජලාශවල ජල ධාරිතාවය ද සිඝ්‍ර ලෙස පහළ බසිමින් තිබේ.

ඊයේ (24) වනවිට කාසල්රී ජලාශයේ ජල ධාරිතාවය 30%ක් දක්වාත් , කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 28%ක් දක්වාත් පහත වැටී තිබිණි.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම දැක්වූයේ 66%ක් ලෙසයි.

කෙසේවෙතත්,, ජල කළමනාකරණ කමිටුව දෛනිකව වික්ටෝරියා ජලාශයෙන් විදුලි නිෂ්පාදනය සඳහා ඝන මීටර් මිලියන 6.5 ක්  සහ රන්ටැඹේ ජලාශයෙන් ඝන මීටර් මිලියන 8.5 ක් මුදා හැරීමට තීරණය කර ඇත.

ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ක්ෂණික මිලදී ගැනීම ටෙන්ඩර් ප්‍රදානයක් සිදුකර තිබේ.

ඉන්දියානු සමාගමකට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කළ බව, බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, මෙට්ට්‍රික් ටොන් 50,000 බැගින් නෞකා 5 ක් මෙරටට ළඟා වීමට නියමිතයි.

එම නෞකා සියල්ල අප්‍රේල් 20 වැනිදායි පසු මෙරටට පැමිණීමට නියමිත බව, බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර, අප්‍රේල් මාසය අවසන් වනතුරු විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන තොග පවතින බව බලශක්ති අමාත්‍යාංශය තහවුරු කරයි.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එම තත්ත්වය තුළ විදුලිය කප්පාදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

සොබාදනවි, වෙස්ට් කෝස්ට් සහ කැලණිතිස්ස යන බලාගාර සඳහා අවශ්‍ය ඩීසල්, දැවිතෙල් සහ නැප්තා ඉන්ධන ප්‍රමාණවත් පරිදි ඇතැයි, බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.