රාමසාන් උත්සවය අදයි!

ඉස්ලාම් බැතිමතුන් හරසරින් සමරන රාමසාන් උත්සවය අදයි!

by Staff writer 21-03-2026 | 7:24 AM

COLOMBO(News1st) - ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද  ඊදූල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය සමරනු ලබයි. "රාමසාන්" යනු භාග්‍යවත් මාසය යන්නයි.

ඉස්ලාම් දින දර්ශනයට අනුව පුරා මාසයක් තිස්සේ දිනපතා හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යන තෙක් නිරාහාරව සිටිමින් ඉස්ලාම් බැතිමතුන් උපවාසක නිරත විය. 

එය හුදෙක් ආහාර පානයෙන් වැළකී සිටීම පමණක් නොව, තම ආත්ම දමනය ප්‍රගුණ කරන උතුම් පුණ්‍ය කාලයක්.

මෙම උපවාස සමය තුළ බැතිමතුන් තමන් නිරාහාරව සිටිමින් අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා වඩාත් හොඳින් වටහා ගැනීමට උත්සාහ කරනු ලබයි.

එහිදී වැඩි ඉඩකඩක් වෙන් කෙරෙන්නේ,  "සකාත්" හෙවත් දානමය කටයුතු සඳහායි.

එහි මූලික අරමුණ සමාජයේ සෑම අයෙකුටම සිය කුසගින්න නිවා ගැනීමට අවස්ථාව සළසා දෙමින් සමානාත්මතාවය ඇති කිරීමයි.

මේ අතර සමස්ත ලෝකයම දුෂ්කර සහ අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක මේ වසරේදි රාමසාන් සැමරිමට  සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ, ඉස්ලාමීය ජනතාව මාසයක කාලයක් පුරා පිරූ වත් පිළිවෙත් සහ යාඥාවේ ආශිර්වාදයෙන් ගෝලිය අර්බුධ තත්ත්වය කඩිනමින් පහව ගොස් සියලු දෙනා අපේක්ෂා කරන, සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ නිදහස සුරැකෙන සහජීවී ලෝකය බිහි වේවා යැයි තමන් ප්‍රාරථනා කරන බවයි.

එමෙන්ම  සෙසු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා සේ මෙම අභියෝගයටද අභීතව මුහුණ දෙමින්, එය මනාව කළමනාකරණය කර, මෙරට ආර්ථිකයත්, ජන ජීවිතයත් පීඩාවකින්, බිඳවැටීමකින් තොරව ඉදිරිගාමීව පවත්වාගෙන යාම වෙනුවෙන්  රජයක් ලෙස කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර රමසාන් දිනය වෙනුවෙන් සුභ පැතුම් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවේ, රාමසාන් හරහා ලැබෙන ආධ්‍යාත්මික ශික්ෂණය, වත්මන් අභියෝග හා අර්බුද ජයගෙන රට සමෘද්ධිය කරා ගෙන යාමට මහත් ශක්තියක් වන බවයි.

ඒ අනුව රාමසාන් උත්සවයෙන් නිරූපණය වන ඉවසීම සහ සහෝදරත්වය වැනි ගුණාංග රටේ පොදු යහපත උදෙසා යොදා ගැනීම වර්තමානයේ ප්‍රධාන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍යවරිය සිය සුභ පැතුම මගින් පෙන්වා දී තිබේ.

මේ අතර රාමසාන් දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් පැවසුවේ දිවයින පුරා පිහිටි සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.

එමෙන්ම ජංගම මුර සංචාර සහ  බුද්ධි අංශ නිලදාරින් ද මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිව යොදවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.