න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ

ඉරානයෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික තර්ජනයක් ගැන කිසිදු බුද්ධි තොරතුරක් තිබුණේ නැහැ - අමෙරිකානු ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජෝ කෙන්ට්

by Janitha Mendis 20-03-2026 | 5:25 PM

COLOMBO (News 1st) - ඉරානය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉතා ආසන්නව සිටින බවට එල්ල වන ප්‍රකාශ අභියෝගයට ලක් කරමින්, එවැනි කිසිදු ක්ෂණික තර්ජනයක් පිළිබඳ බුද්ධි තොරතුරු අනාවරණය වී නොතිබූ බව අමෙරිකානු ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ (NCTC) හිටපු අධ්‍යක්ෂ ජෝ කෙන්ට් (Joe Kent) ප්‍රකාශ කර තිබේ.

ප්‍රකට අමෙරිකානු දේශපාලන විචාරක ටකර් කාල්සන් (Tucker Carlson) සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඉතා ආසන්නව සිටින්නේ ද යන්න පිළිබඳව මෙහිදී ටකර් කාල්සන් විමසා සිටි අතර, ජෝ කෙන්ට් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ "නැහැ, ඔවුන් එසේ සිටියේ නැහැ" යනුවෙනි. වත්මන් තත්ත්වය මෙන්ම මීට පෙර පසුගිය ජුනි මාසයේදී ද තත්ත්වය එයම වූ බව ඔහු පෙන්වා දුන්නේය.

ඉරානයේ ස්ථාවරය:

න්‍යෂ්ටික අවි නිෂ්පාදනය තහනම් කරමින් 2004 වසරේ සිට ඉරානය තුළ ආගමික නියෝගයක් හෙවත් 'ෆත්වා' (Fatwa) නියෝගයක් ක්‍රියාත්මක වන බවත්, එය මේ දක්වා පවතින බවත් ජෝ කෙන්ට් මෙහිදී සදහන්කර සිටියේය. එම ආගමික නියෝගය උල්ලංඝනය වන බවට හෝ එය ඉවත් කිරීමට සූදානම් වන බවට කිසිදු බුද්ධි තොරතුරක් වාර්තා වී තිබූ නොමැති බව ඔහු අවධාරණය කළේය.

කලාපීය සිදුවීම් මත පදනම්ව ඉරානය ඉතා ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ලිබියාවෙන් උගත් පාඩම:

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆි සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරීමෙන් පසු ඔහුට අත් වූ ඉරණම පිළිබඳව ඉරානය දැඩි අවධානයෙන් පසුවන බව ද ජෝ කෙන්ට් මෙහිදී හෙළි කළේය. අමෙරිකානු මැදිහත්වීම් හමුවේ ගඩාෆි මියගිය ආකාරය මුළු කලාපයටම ප්‍රබල පණිවිඩයක් ලබා දුන් බව ටකර් කාල්සන් ද මෙහිදී ප්‍රකාශ කළේය.