ඉන්ධන QR කේත ලබාදෙන ව්‍යාජ අඩවි ගැන පැමිණිලි ඉහළට

ව්‍යාජ QR වෙබ් අඩවි හරහා පෞද්ගලික දත්ත සොරාගන්නා ජාවාරමක්..

by Staff writer 19-03-2026 | 6:55 AM

COLOMBO(News1st) - අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ඉන්ධන QR කේතය පිළිබද ව්‍යාජ වෙබ් ලිපිනයන් සම්බන්ධව පැමිණිලි ලැබීම ඉහළ ගොස් ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසුවේ, ඉන්ධන සඳහා අවසර ලබාදෙන QR කේතයට ප්‍රවේශය ලබාදෙන බව පවසමින්, සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ගගතව පණිවුඩ සේවාවල වංචනික අන්දමින් සැකසූ ව්‍යාජ වෙබ් ලිපිනයන් සංසරණය වන බවයි. 
 

මෙමගින් පරිශීලකයන් නොමග යවමින් පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන බවත් එම නිවේදනයේ සඳහන්.
 

ඒ හේතුවෙන් සැක සහිත නිල නොවන වෙබ් අඩවි, පණිවුඩ යෙදුම් හෝ සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කර ඇති වෙනත් නොදන්නා සබැඳි SCAN කිරීම හෝ Click කිරීම සිදු නොකරන ලෙසත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙයි.