.webp)
-612498.jpg)
එම අදහස් පළ කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් එමීර්වරයා අතර පැවැති දුරකථන සංවාදයකදීය. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සහ එහි බලපෑම් පිළිබඳව කරුණු විමසීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වුණි.
මෙහිදී ජනාධිපතිවරයා කටාර් රාජ්‍යයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා සිටියේ, එරට වෙසෙන 150,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව පිළිබඳව සිය අවධානය යොමු කරමිනි. වත්මන් කලාපීය වර්ධනයන් හමුවේ ශ්‍රී ලංකාව කටාර් රාජ්‍යය වෙත දක්වන සහයෝගය සහ සහයෝගීතාව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.
ලාංකිකයන් ඇතුළු කටාර්හි වෙසෙන සියලුම වැසියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කටාර් එමීර්වරයා මෙහිදී සහතිකයක් ලබා දුන් අතර, එරට පවතින සැබෑ තත්ත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කළේය.
කලාපීය නොසන්සුන්තා හේතුවෙන් මතුවිය හැකි පුළුල් අභියෝග පිළිබඳව ද නායකයන් දෙපළ මෙහිදී සාකච්ඡා කළහ. විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන මුහුදු මාර්ගවලට එල්ල විය හැකි අවදානම් හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන්ට සහ බලශක්ති වෙළෙඳපොළට එල්ල විය හැකි බාධාවන් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ඉහළ යන බලශක්ති පිරිවැය හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට එල්ල වන ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වයට මෙම තත්ත්වය මගින් එල්ල වන බලපෑම් පිළිබඳව නායකයන් දෙපළම සිය දැඩි කනස්සල්ල පළ කළහ.
යුදමය තත්ත්වයන් තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා, සාධනීය සාකච්ඡා මගින් රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කරා එළඹීමේ හදිසි අවශ්‍යතාව ද ඔවුහු අවධාරණය කළහ. තිරසාර ස්ථාවරත්වයක් සඳහා ඇති එකම මාර්ගය සාමකාමී මැදිහත්වීම බව ජනාධිපතිවරයා මෙහිදී යළිත් අවධාරණය කළේය.
