පාස්කු ප්‍රහාරයට සලේගේ සෘජු සම්බන්ධයක්..

පාස්කු ප්‍රහාරයට සලේගේ සෘජු සම්බන්ධයක්...අධිකරණයේදී හෙළිවූ ඔත්තුකරුවෙකුගේ කරුණු...

by Staff writer 11-03-2026 | 10:01 PM

COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේට එල්ලවන චෝදනා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව කෙලින්ම සම්බන්ධවන කරුණු බව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද ප්‍රකාශ කළේ ය.

මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ එම කරුණු රාජකාරිය පැහැර හැරීම හෝ වෙනත් කරුණු නොවන බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකල විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කළේ ය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ සබඳතා අනාවරණය වන කරුණු කිහිපයක් අධිකරණයට අද වාර්තා කරන ලදි.

කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීම සඳහා සහරාන්ගේ කණ්ඩායමට ප්‍රහාරයට පෙර තොරතුරු රැස්කිරීමට සුරේෂ් සලේ සෘජුව සම්බන්ධවී ඔහුගේ තොරතුරුකරුවෙකු යොදවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.