05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අදින් ඇරඹේ!

05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අදින් ඇරඹේ!

by Staff writer 10-03-2026 | 8:34 AM

COLOMBO(News1st) - මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද (10) ආරම්භ වෙයි.

ඒ අනුව අද සිට නොවැම්බර් දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් සිසුන් සහ වැඩිහිටි වයස් කාණ්ඩවල අහඹු ලෙස තෝරාගත් 10,000ක නියැදියක දත්ත එක්රැස් කිරීමට නියමිතයි. 
 

මෙහිදී පාසල් ළමුන්ගේ දත්ත පාසල් පරිශ්‍රයන් තුළදී මෙන්ම වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට නියමිත අතර, එහිදී මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කර ගැනීමටත්, මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරීමටත් කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. 
මෙම සමීක්ෂණයේදී ලබාගන්නා දත්ත ඉදිරි සේවා සැලසුම් කිරීමට අතිශය වැදගත් වන බැවින් ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 

විවිධ රටවල මුඛ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10කට වරක් හෝ ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ.