සමාජ මාධ්‍ය කැළඹූ යතුරුපැදිකරුවෙක් අත්අඩංගුවට..

සමාජ මාධ්‍ය කළඹමින්, අපරික්ෂාකාරී ලෙස යතුරුපැදියක් පැදවූ දර්ශනවල සිටි 19 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට.

by Staff writer 09-03-2026 | 8:27 AM

COLOMBO (News 1st) - සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවකට අදාළව සැකකරුවෙකු නවගත්තේගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය.

මාර්ගයේ ගමන් ගන්නා සෙසු වාහනවලට බාධාවන අයුරින්, තරුණයින් දෙදෙනෙකු ඉතා අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වුණි.

එම වීඩියෝව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී , අදාළ යතුරුපැදිය ආණමඩුව - නවගත්තේගම මාර්ගයේ ආණමඩුව දෙසට ධාවනය කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවේ ය.

ඒ අනුව නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) පස්වරුවේ අදාළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (09) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නවගත්තේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.