දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ වව්නියාව සහ සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 09-03-2026 | 7:36 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ වව්නියාව සහ සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන ලෙසත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර අධික උණුසුම හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව,
පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම, (වැඩිහිටි අයෙකු අවම වශයෙන් දිනකට ලීටර දෙක හමාරක්)
පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන්  සම්පූර්ණයෙන් වැළකීම,   
අධික පාරජම්බූල කිරණවලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි කණ්ණාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳීම, ︎
පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික උණුසුමට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.
හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම,  
එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ හිස් පලඳවා භාවිතයට හැකිතාක් යොමුවීම, 
වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම එම උපදෙස් මාලාව වේ.