ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

by Staff writer 08-03-2026 | 7:19 AM

COLOMBO (News 1st) - ලොවක් මවන, ලොවක් තනන කාන්තාවන් වෙනුවෙන් ම වෙන් වූ, ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.

මෙවර එය සැමරෙන්නේ, සියලු කාන්තාවන් සඳහා, අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාමාර්ග යන තේමාවෙන් ය.

කාන්තා දින ජාතික සැමරුම මෙවර පැවැත්වෙන්නේ, මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදීයී.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ය.

පොහොසත් රටක අභිමන - ඇය වේ දැයක පෙරමග යන තේමාවෙන් එම සැමරුම පැවැත්වෙයි.

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර, ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට රජයක් ලෙස ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරගැනීම රජයේ අරමුණ බවයි.

ඒ වෙනුවෙන් නිවසේදී, ප්‍රවාහනයේදී, ප්‍රජාව තුළ, වැඩබිමේදී සහ දේශපාලන වේදිකාවේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් සහ වෙනස්කොට සැළකීම් වලට එරෙහිව ක්‍රියා කරන බව ද, ජනාධිපතිවරයා පවසයි.

ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කර, ඉදිරියේදී රට තුළ ඇති වන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම, රජයේ අපේක්ෂාවයි.

කාන්තාවන්ට බියෙන් සැකෙන් තොර මාවතක ගමන් කළ හැකි, ඇයගේ දක්ෂතාවට නිසි ඇගයීමක් ලැබෙන, ගෞරවනීය ජීවිතයක් ගත කළ හැකි පොහොසත් රටක් නිර්මාණය කිරීම, රජයේ අරමුණ බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය පවසයි.

ඒ, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය.